උපාලි
6/11/20151970 අප උසස් පෙළ අධ්‍යාපනය අරඹන විට අපේ පන්තියේ 'උපාලි' ලා හතර දෙනෙක් විය.
උපාලි අමරවංශ පාසලේ කණිෂ්ට ක්‍රීඩා, ශීෂ්‍යභට ක්‍රියාකාරකම් වල කැපි පෙණුනු චරිතයකි. මාස කිහිපයක් අප සමග සිට ලා බාල වයසේදීම සාමාන්‍ය පෙළ ප්‍රථිපල මත රක්ෂණ සංස්ථාවේ රැකියාවකට ගිය ඔහු විශ්‍රාම ගන්නා විට රක්ෂණ සංස්ථාවේ උසස් තනතුරක් දරමින් සිටියේය.
උපාලි එදිරිසිංහත් ක්‍රීඩා, ශීෂ්‍යභට ක්‍රියාකාරකම් වල දී කැපි පෙණුනු අයෙකි. 'එදිරි' දිගටම එම කටයුතුවල උපරීමයෙන් නිරත වී පාසලේ ක්‍රිකට් නායක, ශීෂ්‍යභට සාජන් මේජර්, ප්‍රධාන ශිෂ්‍ය නායක සහ සෑම අතින්ම දක්ෂ තාවය සඳහා වන රන් පදක්කමද දිනාගත් අතර පසුව හමුදා සේවයට බැඳී එහි මේජර් ජනරාල් තනතුරක් දක්වා උසස්වීම් ලැබ විශ්‍රාම ලැබීය. ( විශ්‍රාම ගැනීමෙන් පසුව 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සම්බන්දිකරණ කටයුතු වල යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු 'එදිරි' වසර කිහිපයක්ම බන්ධනාගාර ගතව සිට පසුව නිදහස ලැබීය.)
1970 ක්‍රීඩා උත්සවයේ ධජ එසවීම. මෙහි අංක.1 උපාලි අමරවංස ය. අංක. 2 උපාලි එදිරිසිංහ ය. |
උපාලි දාහිගමුව පන්තියේ සිටි පොඩිම එකාය. සමස්ත ලංකා අවසන් වටයට ගිය 'මහදැනමුත්තා' නාට්‍යයේ ඉඳිකටු පැංචගේ චරිතය කළේ 'දාහි'ය. කුඩා සිරුරට අමතරව රංගනයේ හැකියාවද ඔහු සතුවිය. 'දාහි' විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස මහවැලි අධිකාරියේ සේවය කරන අතර විනෝද ගමනකදී අවාසනාවන්ත ලෙස දියේ ගිලී මරණයට පත්විය. ඒ 1980 ගනන් වල තරුණ අවධියේමය.
උපාලි ඒකනායක පන්තියේ සිටි මධ්‍යස්ථ චරිතයකි. මෙහි කතා නායකයා ඔහු බැවින් මින් ඉදිරියට මා 'උපාලි' කියා සඳහන් කරන්නේ 'උපාලි ඒකනායක' ගැනය.
ඔහුත් ආසාවෙන් ක්‍රිකට් සෙල්ලම් කළේය . පුහුණුවීම් සඳහා නොකඩවා සහභාගි විය. නමුත් කණ්ඩායමේ තැනක් ලබාගන්නට තරම් දක්ෂ තාවයක් පෙන්වීමට උපාලි අසමත් වන්නට ඇත. (මා මෙසේ කියන්නේ ඒ කාලයේ අද වගේ 'කැපිලි' හෝ 'ඇදිලි' තිබුණු බවක් අපට නොදැණුන නිසාය. අද නම් ඇති හැකි දෙමාපියන් ක්‍රීඩාභාර ගුරවරුනට සහ පුහුණුකරුවන්ට බලපෑම් කිරීම, අල්ලස් දීම සහ ගැනීම, කුඩා දරුවන් අතර පවා එළිපිට කතාවන මාතෘකාවකි.) ක්‍රිකට් කණ්ඩායමේ උපාලි ට ළඟාවන්න හැකි වූ ඉහලම තැන පළමු අතිරේක ක්‍රීඩක ස්ථානයයි. ඒ අවස්ථාව ඔහු පිළිගත්තේ මහත් සතුටකිනි. පුහුණුවීම් සහ පිට පලාත්වල ක්‍රිකට් තරඟ සඳහා සහභාගි වීම් වලදී පන්තියේ පාඩම් කටයුතු අතපසු වීම නොවැලැක්විය හැකි කරුණකි. 'තල නම් තෙලට වේලෙති මී බෙටි කුමට වේලෙති?' වැනි උපමා දක්වමින් සමහර ගුරුතුමන්ලා නගන ලද චෝදනා සහ දෝෂාරෝපණ ද ඔහු කිසිවක් නොදොඩාම බිම බලාගෙනම අසා සිටියේය.
ක්‍රිකට් තරඟයක අප පාසල් කණ්ඩාම පන්දු රකිද්දී, උපාලි ක්‍රිකට් ඇඳුම් පැළඳගෙන අවශ්‍ය වූවොත් පිටියට යන්න සූදානමින් ක්‍රීඩාගාරයට වී සිටියේය. අප ක්‍රීඩකයින් පන්දුවට පහර දෙනවිට පිත්තක් හෝ අත් වැස්මක් මාරු කිරීමට සිදුවූ අවස්ථා වලදී එය රැගෙන පිටිය මැදට ගියේ උපාලිය. විටෙක අපි ඔහුට විහිළු කළෙමු. සමහර විට උපාලි ඉදිරිපිටදීම කණ්ඩාමේ ක්‍රීඩා කළ යහළුවෙකුට, බොරු ලෙඩක් පෙන්වා ක්‍රිඩාගාරයට ගොස් උපාලිට අවස්ථාවක් ලබාදෙන ලෙසට යෝජනා කළෙමු. මෙවැනි කවටකම් වලට බොහොම උපේක්ෂාවෙන් මුහුණ දුන් ඔහු සිනහවකින් පමණක් ප්‍රතිචාර දැක්වීය. වරක් ආබාදයකට ලක්වූ ක්‍රීඩකයකු වෙනුවට පිටියට පැමිණි උපාලි හයේ සීමාව අසලදී උඩ පන්දුවක් රැකගනිමින් අනෙක් පිළේ දක්ෂ පිතිකරුවකු දවාගැනීමට සමත්විය. එම උඩ පන්දුව රැක ගැනීම නිසාම අපි තරඟය ජය ගතිමු. එදින නම් ඔහු අප සැමගේම වීරයකු විය.
උපාලිගේ දයාබර පියාණන්ගේ අභාවය සිදුවූයේ අප උසස් පෙළ උගනිද්දීය. ඒ දින කීපයක පාසල් නිවාඩුවක් තුලදීය. ජංගම දුරකතන ගැන අසාවත් නොතිබූ, නිවාස වලින් සියයකට එකකවත් ස්ථාවර දුරකතන පහසුකම් නොතිබූ අවධියක අපට එම අභාවය පිළිබඳව දැනගන්නට ලැබුණේ ඊළඟ සතියේ පාසල් ගිය විටය. විදුහල්පති තුමාගේ විශේෂ අවසරයක් ලබාගෙන, පාසල් දිනක පන්ති භාර රොහාන් ජයවික්‍රම ගුරුතුමන්ද සමග සත්දින දානය සඳහා අප සියළු දෙනම සහභාගි වූ අයුරු මතකය. එකතුකරගත් මුදළින් කිරි හට්ටි කිහිපයක් සහ පැණි බෝතලයක් ගෙන තනිදොර කුඩා ලංගම බසයක හිරවී ගිය ගමන ගැන බොහෝ කලක් යනතුරු අපි කතා කළෙමු.
ඒ උසස් පෙළ විෂයයන් සඳහා බාහිර ගුරුවරුන්ගේ ටියුෂන් පන්ති තැන තැන ඇරඹුනු අළුතය. පෝස්ටර්, බැනර්, වෙළඳ දැන්වීම් ආදිය නොවීය. පළමු වරට පාසලෙන් විභාගය ට මුහුණ දෙන සිසුන් ගේ ඒ සඳහා යොමුවීමක් නොවූ තරම්ය. බොහෝ විට ටියුෂන් පන්ති සඳහා සහභාගි වූයේ දෙවන වරට විභාගයට පෙනීසිටින සිසුන්ය. එනිසාම අප පාසල් සමයේ අවසන් වසර කිහිපය සැහැල්ලුවෙන්, සහෝදරත්වයෙන්, විවේකයෙන් සහ සතුටින් ගතකළ කාලයක් විය. හැකි උපරිමයෙන් ඉගෙනීම කළා විනා අසවල් වෘත්තියට යා යුතුයැයි විශේෂිත වූ ඉලක්කයන් ද අප බොහෝ දෙනෙකු තුල නොවීය.
1971 ජ.වි.පෙ. කැරැල්ල ඇති වූයේද අප උසස් පෙළ හදාරද්දීය. මිතුරන් කිහිප දෙනෙකු චේ ගුවේරා සහ විප්ලවය පිළිබඳව උනන්දුවෙන් විප්ලවකාරීන් ලෙස කතාකළ නමුත් කිසිවෙක් අප ඒ සඳහා යොමුකරවා ගැනීමට හෝ 'කොක්ක ගහන්නට' ආවේ නැත. බොහෝ සැප සම්පත් නොවින්ද ද අප, කුසට අහරත්, ඇඟට වස්ත්‍රත්, හිසට වහලත් සමග මූලික අධ්‍යාපන පහසුකම්ද ඇතිව තෘප්තිමත් බව කෙසේ වූවත් ලද දේ පිළිබඳව සෑහීමකට පත්ව සිටි කණ්ඩායමකි. පාසල් දිවිය අවසන රැකියාවක් සොයා ගැනීම අවිනිශ්චිත කරුණක් බවට එදා අපි නොදුටුවෙමු. පවතින ක්‍රමය වෙනස් කිරීමේ විශේෂිත උවමනාවක් ද අපට නොවීය. එබැවින්ම 1971 අප්‍රේල් කැරැල්ල සංසිදී දිගු නිවාඩුවකට පසුව පාසලට යද්දී පන්තියේ සියළු දෙනම නැවත පැමිණ සිටිණු දැකීම අපට මහත් අස්වසිල්ලක් විය. අපේ පන්තියේ සමාජවාදය සහ රතු විප්ලවය ගැන කතාකළෝ ද බොරු විප්ලවවාදීන් බව එදින දැන ගතිමු. මා දන්නා තරමින් අත්අඩංගුවට ගෙන පුනරුත්තාපන කඳවුරු වලට යොමු කොට තිබුනේ අප පාසලේ අපට ඉහළ පන්තිවල සොයුරන් දෙදෙනෙකු පමණි.
ඔවුන් දෙදෙනාගෙන් එකෙකු පුනරුත්තාපන කඳවුර තුලදී උසස් අධ්‍යාපනයට යොමුවී ඉංජිනේරු වරයකු ලෙසට සමාජයට පැමිණ දැනට විදෙස් ගතව දිවි ගෙවන අතර අනෙකා පුනරුත්තාපනයෙන් අනතුරුව විජය කුමාරතුංගයන් සමග දේශපාලනයට එක්වී පසුව කැබිනට් ඇමති තනතුරක් දක්වා යාමට සමත්විය.
පාසල් දිවිය අවසානයේ අප පන්තියේ කොටසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලද අතර ඉතිරිය තම තමනට උරුමව තිබූ අනෙකුත් රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා යොමු විය. උපාලි යොමු වූයේ කටුබැද්ද ජාතික තාක්ෂණ ඩිප්ලොමාව සඳහාය. ඩිප්ලොමාවෙන් පසුව ඔහු ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා බැඳුණු බව වෙනත් මිතුරෙකුගෙන් පසු කලකදී දැන ගතිමි.
පාසලෙන් වෙන්වීමෙන් පසුව මගේ ඇසුර පාසල් මිතුරන් කිහිප දෙනෙකුට පමණක් සීමාවිය. තවත් කිහිප දෙනෙකු හමුවූයේ මා facebook භාවිතයට යොමුවූ පසු ඒ හරහාය. වසර 40 කට පමණ පසුව උපාලි සමග ඇසුර අළුත් වූයේද පසුගිය වසරේදීය. අපේ පැරණි ගුරුතුමකු වූ වීරසේකර සර් හමුවී මා ගත් ඡායාරූපයක් මගේ මිතුරකුගේ පිටුව හරහා දුටු ඔහු සර්ගේ ලිපිනය සහ දුරකතන විස්තර ආදිය fb හරහා විමසූ බැවින් යලිදු අප අතර සබඳතා ගොඩ නැගුණි. උපාලිගේ fb පින්තූරය පමණක් දුටුවේනම් මා කිසිසේත් ඔහුව හඳුනා නොගනු ඇති බවද මා ඔහුට කීවෙමි. මන්ද පාසල් සමයේදී දිගටිවට උල්වට තිබුණු ඔහුගේ මුහුණ අද පැහැදිලි රවුම් හැඩයකට වෙනස්වී තිබූ බැවිණි.
අනතුරුව අප ඉඩලද අවස්ථා වලදී fb හරහා අදහස් හුවමාරු කර ගතිමු. තමා ගුවන් තොටුපල අධිකාරියේ සහ ලංකා ඒවියේශන් පුද්ගලික සමාගමේ ද සේවය කළ බවත්, දරුවන් රැකියාවල සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය ඉරිදා එනම් මැයි 24 වනදා උපාලි ඒකනායකගේ උපන් දිනය බවට සඳහන් පණිවිඩයක් fb හි සඳහන්ව තිබුණෙන් මම පුරුද්දට මෙන් එහි උපන්දින සුභ පැතුම් සටහන් කළෙමි. සඳුදා සවස මගේ fb පිටුවට මා නොදන්නා කෙනෙකුගෙන් පණිවිඩයක් විය. එහි සඳහන්ව තිබුනේ උපාලි තම 62 වන උපන්දිනය දා අළුයම හෘදයාබාදයකින් මියගිය බවත් අවසන් කටයුතු 27 බදාදා සිදුකෙරෙන බවත්ය.
මේ වන විට මා කෙනෙකුගේ අභාවය දැනගැනීමට ලැබීමෙන් දුකට, කණගාටුවට හෝ කම්පනයකට පත්වන වයස් සීමාව පසුකළ අයෙකි. මරණය ඕනෑම කෙනෙකු වෙත ඕනෑම වයසකදී, ඕනෑම මොහොතකදී, ළඟාවිය හැකි යථාර්තයක් බව දණිමි. මෙහිදී විශේෂත්වය වූයේ එය දැන ගන්නට ලැබුණු ආකාරය පමණි.
සතර පෙර නිමිති වල දැක්වෙන පරිදි රෝගී බවට පත්වීම, වයස් ගතව දුර්වල තත්වයට පත්වීම සහ මරණයට පත්වීම අනිවාර්යයෙන්ම අපට මුහුණ දීමට සිදුවන තත්වයන්ය. සිව්වැන්න වන ශ්‍රමණ භාවයට පත්වී සසරින් එගොඩ වීමේ උත්සාහය සඳහා පෙරපින් මහිමය අප බොහෝ දෙනෙකු සතුව නොමැත. එබැවින් රෝගී බව සහ දුර්වල වයස්ගත භාවය මගහැර මරණයට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය ද සතුටට කරුණකි .
අප විවිධ පසුබිම් වලින් මතුවෙමු. පොකුරක් සේ එකතුව යම් දුරක් එකට ගමන් කරමු. එම පොකුර බිඳී එකිනෙකා වෙනත් පොකුරුවලට ගොනු ගැහෙමු. ඒ ඒ පොකුරු උන්ට හිමි මග නියමිත දුර ගමන්කොට නැවතත් බිඳෙමු. යලිත් අළුත් පොකුරු සෑදෙමු. කලාතුරකින් පැරණි පොකුරක එකට උන් එකෙකු හමුවණු ඇත. අවසන සියල්ල හැරදා තනිවම පිටත්වීමට සූදානම්ව සිටිය යුතුය. යථාර්තය එයයි
උපාලි අද දින අපෙන් සදහටම සමුගනු ඇත. සොහොයුර, නුඹ මරණින් මතු කුමක් ප්‍රාර්තනා කළේදැයි මම නොදණිමි. නුඹ පැතුවේ යමක්ද ඒ දේ ලැබීමට මගේ ප්‍රාර්තනයකින් යම් සහයක් වේ නම්, නුඹ පැතූ දේ එලෙසම ඉටුවේවායි පතමි!
උපාලි ඒකනායක එදා සහ fb profile රූපය. මෙහි වාඩි වී මැදින් සිටින්නේ උපාලි දාහිගමුව ය. |
0 comments