වසර දෙකකට පෙර 2015 ජනාධිපති මැතිවරණයට දින කිහිපයකට කලින් fb එකේ විවිධ ආකාරයේ අදහස් පළවෙද්දී ඒ වෙලාවේ මට දැනුන දේ මේ ආකාරයට සටහන් කළා. අද ඒක අහම්බෙන් වගේ 'Your memories on facebook' තුලින් මතුවුණා. මට හිතුණා ඒක blog එකට ඇතුලත් කරන්න.
"My politics
අද මේ රටේ ඉන්නේ ජාති දෙකයි අපෙ හාමුදුරුවනේ. මහින්දට කැමති ජාතියයි, මහින්දට අකැමති ජාතියයි. මහින්දට අකැමති ජාතියෙ හැමදෙනාම මෛත්‍රීට කැමති ජාතියට එකතු වෙලා.මේ දෙගොල්ලන්ගෙම ඉහළ තලයේ ඉන්න උදවිය 8 වෙනිදට කලින් අනෙක් ජාතියේ අයව තමන්ගේ ජාතියට බාගන්න වලිකනවා. කියන්න පුළුවන් හැම බොරුවක්ම කියනවා, ප්‍රචාරය කරනවා; කරන්න පුළුවන් හැම පහත් වැඩක්ම කරනවා. 8 වෙනිදාටත් කරාවි. සාමාන්‍ය ඡන්ද දායකයින් වැඩිකොටසක් රවටලා තමන්ගේ ජාතියට හරවාගන්න දක්ෂ වූ ජාතිය දිනාවි.
අපට මතක ඇති පසුගිය දශක පහක පමණ කාලයේ දේශපාලනය කියලා දැක්කේ ඔය ටික තමයි. පහළ මට්ටමේ ඡන්ද දායකයෝ තමන් කැමති වූ හේතුවක් නිසා හෝ තමන් අකැමති වූ හේතුවක් නිසා හෝ ඒ කාලේ තිබුණු එක ජාතියක් තෝරාගෙන ඡන්දය දුන්නා. සාමාන්‍ය ජනතාව වැඩියෙන් රවටන්න හැකි වූ අයට බලය ලැබුනා.
ළමා කාලයේ 1965දී අපි හරිම සතුටින් මැතිවරණය දිහා බලාගෙන හිටියා. පාලනයේ වෙනසක් ඇතිවුනා. 1970දී 2/3 බලයකින් ඒ පාලනය බිඳවැටුනා. අපි බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදිලා ජනරජයක් වුනා. නිළධාරින් අතේ තිබුණු සමහර බලතල දේශපාලකයින් අතට මාරු වුනා. ජනතා කොමිටි ආවා. රට අවුල් වුනා. JVP කැරැල්ල ආවා. අපේම යාළුවොත් ඒවාට සම්බන්ධ වෙලා හිටියා. සමහර අය අදත් ඉහළම තැන්වල වැජඹෙනවා. සමහර අයට මොනවා වුනාද දන්නේ නැහැ. 1973 දි හාල් පොලු, පෝලිම්, යුගයක් ආවා. රටේ මිනිස්සු ඒවාට කැමතිවුනේ නැහැ. 1977දි ධර්මිෂ්ට සමාජයක් ගොඩනගන්න JR ජයවර්ධන මහත්මයා ඉදිරිපත් වුනා. මගේ පළමු ඡන්දයත් කැපකළේ ඒ ධර්මිෂ්ට සමාජය වෙනුවෙන්. 5/6 ක බලයක් උන්නැහැට ලැබුනා. ඒ ධර්මිෂ්ට සමාජයේ දී සිදුවූ දේ මතක් වන වෙලාවට අපි කොච්චර රැවටුනාද කියලා හිතෙනවා. ඒකෙදි ඇතිකළ විධායක ජනාධිපති කියන තොණ්ඩුවෙන් ගැලවෙන්න බැරුව අපේ රට තවමත් විඳවනවා. ඒක අයින් කරනවා කියලා බලයට ආ දෙදෙනෙකම විවිධ හේතු දක්වලා ඒක නොකර සිටියා. සරත් පොන්සේකාව පසුගිය වතාවෙ ඉදිරිපත් කළේ විධායක බලය අහෝසි කරවන්න. ඒත් ඡන්දෙන් පසුව එතුමා කටයුතු කළ ආකාරය දැක්කහම, අද කටයුතු කරන ආකාරය දැක්කහම, බලය ලැබුනානම් එතුමා ඒ බලය අත්හරියි කියලා හිතන්න බැහැ.
1983කලු ජූලිය අපි දැක්කා. LTTE බලවත් වී රටේ තැන තැන බෝම්බ පුපුරා සිදුවුන විනාශ අපි දැක්කා. දකුණේ JVP භීෂණය අපි දැක්කා. මේ ඔක්කම සිදකළේ රටට, තමන්ගේ ප්‍රදේශයට, ජනතාවට, වඩා යහපත් ජීවන තත්වයක් ලබා දෙන්න. JR මහත්තයා අයින් වෙලා ප්‍රේමදාස මහත්තයාට බලය ලැබුනා. උන්නැහැ පොඩි මිනිහාගෙන් මතුවූ කෙනක් කියලා අපි සතුටුවුනා. JVP භීෂණයට එරෙහිව රාජ්‍ය භීෂණය ක්‍රියාත්මක වෙනවා අපි දැක්කා. උගත් බුද්ධිමත් කොටසට උන්නැහව අයින් කරන්න ඕනැවුනා. ඒ සඳහා චන්ද්‍රිකාව import කළා. ඒ සටනට කලින් ප්‍රේමදාස උන්නැහව ඝාතනය උනා. විජේතුංග මහත්තයා විතරයි බලයට කෑදර නැතිව, අහම්ඹෙන් බලයට ආවෙ. බලය රැකගෙන ඉන්නත් උන්නැහැට ඕනැවුනේ නැහැ. එක්කෝ ගාමිණී දිසානායක මහත්තයා විජේතුංග මහත්තයා ට වඩා බලවත් වෙන්න ඇති.
ඊට පස්සේ චන්ද්‍රිකා නෝන. ඒ ඉතින් මෑත කාලෙනෙ අමුතුවෙන් මතක් කරන්න ඕනැ නැහැනෙ. ඊටත් පස්සේ චන්ද්‍රිකා ජනාධිපති රනිල් අගමැති ඒ දෙන්නට එදා බැරිවුනා අද කරනවා කියන විදිහට එකතුවෙලා රට හරි තැනට ගේන්න. ඊට පස්සේ මහින්ද. එයාගෙ කාලයත් අපට හොඳටම මතකනේ.
රට වැසියෝ විදිහට අප යුද්ධයට මුහුණ දුන්නා. සුනාමියට මුහුණ දුන්නා. නායකයෝ තමන්ට හැකි ආකාරයට තමන් නිවැරදියයි සිතන ආකාරයට ඒ ඒ අවස්ථා වලට පිළියම් යෙදුවා. මැතිවරණයක් ආවහම බලයේ ඉන්න අය බලයේ රැඳී ඉන්නම උත්සාහ කරනවා. බලය නැති අය කෙසේ හෝ බලය ලබා ගන්න උත්සහ කරනවා. ඡන්ද දායකයෝ තමන්ගේ පැත්තට බාගන්න ඕනෑම බොරුවක් කියනවා. ඕනෑම පහත් වැඩක් කරනවා. මහා පිළිකුල් සහගත ප්‍රචාරයන් කරනවා. අපිත් ඉතින් කුණුරහට ආසයි. ඒවා තලු මර මර ගිලිනවා. අනෙක අයටත් කවනවා. තමන් කැමති පැත්තට වාසි දායක දෙයක් අහන්න හරි සතුටුයි. තමන් කැමති පැත්තට නොහොඳක් කියවුනොත් ඒක අහන්න අපි ආසා නැහැ.
ඡන්දය දිනයත් ඒවි. ඡන්ද දායකයො ඡන්දයත් දේවි. ඡන්ද දායකයො වැඩි ප්‍රමාණයක් රවටා ගන්න හැකි වූ අපේක්ෂකයා දිනාවි. ඊට පස්සේ ඒ අයට ඕනැ දේවල් දිනපු අය කරාවි. ඒ කරන දේවල්අපි එක එක විදිහට දකිවි. ඒවාට ප්‍රතිචාර දක්වන්න ඊ ළඟ ඡන්දය එනතුරු අපි බලා ඉඳීවි ."