ශිෂ්‍ය පාර්ලිමේන්තුව
3/07/2017
ශිෂ්‍ය පාර්ලිමේන්තුව
“අප්පච්චි...... අප්පච්චී........ අපිටත් ඡන්දයක්
තියනවා..... මේ....!” කියමින් නිපුනී තම පාසල් බෑගය තුලින් ගෙන ආඩම්බරයෙන්
පෙන්වුයේ විවිධ පැහැයෙන් යුතු කඩදාසි කැබලි කිහිපයකි.
දිනපතා රාජකාරිය අවසන්ව නිවසට පැමිණෙන තිලක්, දවසේ
වටිනාම කාලය ලෙස සලකන්නේ තම දරු දෙදෙන සමග ගතකරන හෝරා කිහිපයයි. ඔවුන්ගේ හුරතල්
කතා අසමින් පාඩම් කටයුතු වලට උදව් කිරීම දවසේ වෙහෙස නිවාගැනීමට ලැබෙන මහඟු
පිටුවහලකි.
“අද ඉන්ටර්වල් එකේදි ලොකු අක්කිලා ආව ඡන්දේ ඉල්ලන්න.......
මේ බලන්නකෝ ......” බාලිකාවන්ගේ නම්, අංක සහ කතිර සහිත ප්‍රචාරක තුණ්ඩු හිහිපයකි
ඒ. A4 කඩදාසියේ ඡායාපිටපත් කර කපාගත් ඒවා මෙන්ම, පරිගණක චිත්‍රනයෙන් වර්ණවත්කර
මිල වැඩි ඝන කඩදාසියේ මුද්‍රිත සිත්ගන්නා සුලු ඒවාද ඒ අතර විය.
2016 වසරේ ප්‍රාථමික
අංශයේ උගත් ඇය, ද්විතීයික අංශයට උසස්වීම ලබා හය ශ්‍රේණියේ අධ්‍යාපනය අරඹා මාස
දෙකක් වත් ගෙවීගොස් නැත. නිපුනි, ඉහල ඉස්කෝලේ අලුත් පන්තියේ අලුත් අත්දැකීම් වෙත
උද්යෝගයෙන් මුහුණ දෙන ආකාරය පසුගිය සති කිහිපය පුරාවට නිවසේ අයට මහත් සතුටක් ලබා
දුනි. ජනවාරි මාසය තුලම ඇගේ මාතෘකාව වූයේ නිවාසාන්තර ක්‍රීඩා තරඟයයි. තමා සහභාගී
වූ බෝලය අතිනත යවන කණ්ඩායම් තරඟයේ පුහුණුවීම් සඳහා නිවසේදී උදව්දීම අම්මා,
අප්පච්චී සහ මල්ලිගේ වගකීම විය.
“ලබන සඳුදා
ඡන්දේ තියෙනවාලු ......... කොහොමද අප්පච්චී ඡන්දේ දෙන්නේ.........? ඒ ඇගේ ගැටළුවයි. වසර දෙකකට පමණ පෙර තම
වැඩිහිටියන් සහභාගී වූ
ක්‍රියාවලියකට ඒ ආකාරයෙන්ම සහභාගී වීමේ අවස්ථාව ඇයට උදාවී ඇත.
“ඒ එක අක්කි කෙනෙක් වත් මම අඳුනන්නේ නැහැ........ මං
දන්නේ නැහැ කාටද ඡන්දේ දෙන්නේ කියලා........
ඇගේ දෙවන ගැටළුව එයයි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ වගකීම ගැන යම් අදහසක් තම
දියණිය තුල රෝපණය කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අදහස් කළ තිලක්;
“හොඳයි පුතා, දැන් ගිය සතියේ ඔයාලගේ ‘ස්පෝර්ට්-මීට්’ එක තිබුණනේ.......
ඔයාලගේ ‘හවුස් කැප්ටන්’ ඔතන ඉන්නවද?”
“දන්නේ නැහැ, අප්පච්චී.......”
“ ‘ස්පෝර්ට්-මීට්’ එකේදි දිනලා තෑගි ගත්ත අක්කා කෙනෙක්....?”
“මතක නැහැ, අප්පච්චී......”
“ඔයාලගේ පන්තියේ යාළුවෙකුගේ, අක්කා.....?”
“නැහැ, අප්පච්චී......”
ඉල්ලුම් කරුවන් කිහිප දෙනෙකු අතරින් තමාගේ මනාපය
පලකළයුතු පුදගලයා හෝ වඩා සුදුස්සා, තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව
අවබෝදයක් ලබාදීම සඳහා සරල ක්‍රමවේදයක් ගැන තිලක් මදක් සිතන්නට විය.
“අපේ පන්තියේ යාළුවො කතා වුනේ ලොකුම චොක්ලට් එක දෙන
අක්කිට කතිරේ ගහමු කියලා....”
මො..කා...ක්.........???
ඔව් .... අප්පච්චී...... අපිට හරි වාසියි. ..... අක්කිලා
අපිට ටොෆි-චොක්ලට් ගෙනත් බෙදනවා....... සමහර අක්කිලා නම් අර රුපියල් දෙකේ පොඩි
ඒවා.......... සමහර අක්කිලා Mars, Raves
වගේ රස චොකලට් දෙනවා......”
෴෴෴
ඉහතින් සඳහන් කළේ මා හිතවතෙකු පසුගියදා මුහුණදුන්
සිදුවීමකි........
රටක් ජාතියක් හැටියට අපට සිතන්නට, නිවැරදි කරගන්නට බොහෝ
කරුණු කරනා මෙමෙ සිදුවීම තුල ඇත.
අප යන මග නිවැරදි
නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය......... යන්නේ තව තවත් අගාදයටමය.........
පාසල් තුල
ශිෂ්‍ය පාර්ලිමේන්තු පිහිටුවනු පිළිබඳව ඡායාරූප සහ පුවත් කිහිපයක් මාධ්‍ය තුලින්
දුටුවෙමි. ඒ පාසල් අවධියේදී ම දරුවන් වෙත නායකත්වය සහ සමාජ වගකීම් පිළිබඳව
පුහුණුවක් ලබාදීම සඳහා හඳුන්වාදුන් අධ්‍යාපන අමාත්‍යංශ ව්‍යාපෘතියක් විය යුතුය. එමගින්
අපේක්‍ෂිත අරමුණු මොනවාද?
පාසල් පද්ධතියටත්
මේ හඳුන්වා දෙන්නේ ශිලාචාර සමාජය විසින් පිටු දැකිය යුතු, ‘අල්ලස් දීමේ’ සහ ‘ගැනීමේ’
පහත් සංස්කෘතිය ම නොවේ ද?
‘දෙමාපියෝ’ සහ ‘දරුවෝ’ මේ ආකාරයට කටයුතු කරත්
නම් අපේක්‍ෂිත අරමුණු ඉටුවනවා ද?
මෙම
කර්තව්‍යයේදී ගුරු භූමිකාව කුමක් විය යුතුද?
මෙවන් දේ සිදුවන්නේ විදුහල්පතිවරු සහ ගුරුවරු නොදැනුවත්ව
ද?
ඔවුන් මේ දේ දැක දැකත් නොදැක්කා සේ සිටිනවා ද?
මෙවැනි දේ නවතා දැමීමට වගකීමක්, ඕනෑ කමක් හෝ බලයක් පාසල්
බලධාරීන්ට නොමැති ද?
මැති ඇමති වරුන් ගේ මූලිකත්වයෙන් ගරු ගාම්භීර උත්සව
පවත්වා, පහන් දල්වා, කතා පැවැත්වීමෙන් පමණක් තම වගකීම් ඉටුවෙතැයි ඔවුහු සිතත් ද?
එක්තරා පාසලක ශිෂ්‍ය පාර්ලිමේන්තු ආරම්භක සැසි වාරයට
ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙකු පාසල් දරුවන්ගේ විවාද වලට
සවන්දීමෙන් අනතුරුව;
“මේ ළමයි, අපි පාර්ලිමේන්තුවේ රණ්ඩුවනවටත් වැඩිය සැරටනේ
කතාකරන්නේ.....” යනුවෙන් තම කතාවේදී කීවේ ලු ..........
ආචාර්ය මණ්ඩලයත් සිසුවියනුත් එම ‘විහිළුව’ සිනා සෙමින් රස වින්දා
ලු......
ඒ සිදුවීම කන වැටුණු සැනින් මගේ මතකයට නැගුනේ රෝහණ
බැද්දගේ සහ බන්දුල විජේවීර කලකට පෙර ගයනා කළ ගීතයකි...
“අපේ පැත්තේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා
දෙනවා”
“අනේ හොඳයි.... දැන් පොඩි උන්වත් කෙලින් යනවා ඇතිනේ .....?”
“මොන පිස්සුද....?
උන් ඔක්කොම හරහට යනවා....”
මෙවැනි සිදුවීම් අසා සිනහවන්නට නොව, අඬන්නට කාලයයි මේ!!!!!!!
෴෴෴
මා පාසල්
සමයේදී දුටු සමාන සිදුවීමක් සමග උගත් පාඩමක් සිහිවේ.......
අප 9 ශ්‍රේණිය
අධ්‍යාපනය අරඹා පළමු වාරයයි. එතෙක් අප සිංහල සාහිත්‍ය සමිති අත්දැකීම ලැබූයේ පන්ති
කාමරය තුලය. කලාතුරකින් යාබද පන්ති දෙකක ගුරුතුමන්ලාගේ එකඟතාවය මත සුහද විවාදයක් පැවැත්වුවා
ද මතකය. ජ්‍යෙෂ්ට සිංහල සාහිත්‍ය සමිති සාමාජිකත්වය ලැබුවේ 9 ශ්‍රේණියෙන් ඉහළ
සිසුන්ය.
ඒ වසරේ ජ්‍යෙෂ්ට
සිංහල සාහිත්‍ය සමිති තනතුරු සඳහා වූ නිලවරණයේදී මුල් වරට ඡන්දය පාවිච්චි කිරීමේ
අයිතිය අපට ද හිමිවිය. ඉහළ පන්ති වල සිසුන් දෙදෙනෙකු (ඒ කාලයේදී 'අයියලා' 'මල්ලිලා' ලෙස පොදු හැඳින්වීමක් පාසැල තුල නොවිය.) ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටිය
රැගෙන පන්තියෙන් පන්තියට ගොස් සිසුන් විසින් ලකුණු කළ පත්‍රිකා ඡන්ද පෙට්ටියට එකතු
කර ගැනීමයි සිදුවුයේ. ජ්‍යෙෂ්ට අංශයට නවකයින් වූ අපි ඒ ඉල්ලුම් කරුවන් බොහෝ දෙනෙකු
නම් වලින් දැන නොසිටියෙමු. ඡන්ද පත්‍රිකා බෙදා දුන් වැඩිහිටි සිසුවා ඒ බෙදාදෙන
අතරම “ලේකම්, අංක 2 ට කතිරේ ගහන්න” යයි අප දැනුවත් කරමින් ගියෙන් වැඩි දෙනෙකුගේ
මනාපය එම අංකයට යොමු වීමද නිතැතින් ම සිදුවිය.
නවකයින් හැටියට එතැනින් එහාට එම සිදුවීම පිළිබඳව අප උනන්දු නොවීමු.
පසුදින
පාසලේදී ජ්‍යෙෂ්ට ගුරුතුමන්ලා දෙදෙනෙක් පන්ති වලට පැමිණ එම ඡන්ද විමසීම සිදුවුයේ කෙසේදැයි
අප විමසිය. අපි සිදුවූ දේ පැවසිමු.
සිංහල සාහිත්‍ය
සංගමයේ පළමු සභා වාරයේදී මුලින්ම සභාව ඇමතු අනුශාසක ගුරුතුමා සිංහල සාහිත්‍ය සංගමය,
බෞද්ධ සංගමය හෝ විද්‍යා සංගමය වැනි පාසල් සමිති සමාගම් වල මූලික අරමුණ පාසල් අධ්‍යාපනයෙන්
පසුව සමාජයට එක්වූ විට කටයුතු කරන්නට සිදුවන සමාජ සංස්ථා තුල හැසිරීම සඳහා
හුරුවක් සහ අත්දැකීම් ලබාදීම බව පැහැදිලි කළේය. එබැවින් මෙම අවස්ථාවන් වැඩිහිටි
සමාජය තුල නිවැරදිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පුහුණුවක් බවත් ඉන් උපරිම ප්‍රයෝජනයක්
ලබාගැනීම අපගේ වගකීම බවත් පෙන්වා දුන්නේය.
සිංහල සාහිත්‍ය සංගමයේ නිලවරණයේදී යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව සැකයකින් තොරව ඔප්පු වී ඇති බව සඳහන් කළ එතුමා ‘තිලමුට්ටි ජාතකය’ උදාහරණයට ගෙන ගුරුවරුන්ගේ වගකීම දරුවන් වැරදි මාර්ගයෙන් ගලවාගෙන නිවැරදි මගට යොමුකිරිම බැවින් ලේකම් තනතුර සඳහා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් සිසුවා තරඟයෙන් ඉවත් කර දෙවන වැඩි ඡන්ද ප්‍රමාණය ලබාගත් අය ලේකම් ලෙස නම් කරන බව දැනුම් දුණි. එතුමා එම දේශනය ඉදිරිපත් කළ ආකාරයෙන් වැරදි ලෙස වැඩි ඡන්ද ලබාගත් සිසුවා අනෙක් සිසුන් ඉදිරියේ අපහසුතාවයකට පත් නොවුන බව මගේ අදහසයි. ඔහු ද තම වරද වටහා ගන්නට ඇත. එදා සමිති ශාලාවේ රැස්ව සිටි සියලුම සිසුන්ගේ අනාගත ජිවිතයට වටිනා උපදෙසක් ලද බවනම් සත්‍යයකි.
සිංහල සාහිත්‍ය සංගමයේ නිලවරණයේදී යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව සැකයකින් තොරව ඔප්පු වී ඇති බව සඳහන් කළ එතුමා ‘තිලමුට්ටි ජාතකය’ උදාහරණයට ගෙන ගුරුවරුන්ගේ වගකීම දරුවන් වැරදි මාර්ගයෙන් ගලවාගෙන නිවැරදි මගට යොමුකිරිම බැවින් ලේකම් තනතුර සඳහා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් සිසුවා තරඟයෙන් ඉවත් කර දෙවන වැඩි ඡන්ද ප්‍රමාණය ලබාගත් අය ලේකම් ලෙස නම් කරන බව දැනුම් දුණි. එතුමා එම දේශනය ඉදිරිපත් කළ ආකාරයෙන් වැරදි ලෙස වැඩි ඡන්ද ලබාගත් සිසුවා අනෙක් සිසුන් ඉදිරියේ අපහසුතාවයකට පත් නොවුන බව මගේ අදහසයි. ඔහු ද තම වරද වටහා ගන්නට ඇත. එදා සමිති ශාලාවේ රැස්ව සිටි සියලුම සිසුන්ගේ අනාගත ජිවිතයට වටිනා උපදෙසක් ලද බවනම් සත්‍යයකි.
‘තිලමුට්ටි
ජාතකය’ කතන්දරයක් ලෙස ඊට පෙර අසා තිබුනද, එහි සැබෑ අරුත සහ ප්‍රභල පණිවිඩය මා සිත
තුල ධාරණය වූයේ ද එදාය.
0 comments