රුවන්වැලි මහා සෑ මෑත ඉතිහාසය (i)
- නාරංවිට සුමනසාර ස්වාමින් වහන්සේ -
- නාරංවිට සුමනසාර ස්වාමින් වහන්සේ -
සම වයසේ විශ්‍රාමික හිතවතුන් කිහිප දෙනෙකු සමග කතා බහක යෙදී
සිටින අතර රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී මූලිකත්වය ගත්තේ කවුරුන්
විසින්දැයි සාකච්චාවක් ඇතිවිය. පසුගිය සියවස මැද කාලයේ උපත ලද, අද විවෙකීව සිටින
අප බොහෝ දෙනෙකු එතරම් ඵලදායි නොවන මෙවැනි දේ ගැන කතා කිරීමෙන් මහත් ආශ්වාදයක් ලබන
බව රහසක් නොවේ.
මිහිඳු මා හිමියන් විසින් මහා සෑය ඉදිකළ යුතු ස්ථානය
දෙවන-පෑ-තිස් රජු වෙත දැක්වීම, දුටු ගැමුණු රජතුමන්ට මහා සෑය ඉදිකිරීමේ අදහස
මතුවීම, ජල බඳුනක වූ දිය බුබුලක් පෙන්වා බුබ්බුලාකාර හැඩය පැහැදිලි කළ ආකාරය,
ස්වර්ණ මාලි දෙවඟන සමග වූ එකඟතාවය, චෛත්‍යයේ නිධන් කිරීම සඳහා විවිධාකාරයෙන්
ධාතුන් වහන්සේලා ලද අයුරු, කටයුතු නිමවීමට පෙර රජතුමා ගිලන් වීම, සද්ධාතිස්ස කුමරු
චෛත්‍යයේ අවසන් නිමාව සුදු පිළියෙන් මවා පා දුටු ගැමුණු රජතුමන්ට දර්ශනය කර වූ
අයුරු ආදී කතා අප ළමා කළ සිටම අසා පුරුදුය. මෑත ඉතිහාසයේදී මහා සෑය අද ඇති තත්වයට
ගෙන එම සඳහා වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ එහි දී පෙරමුණ ගත් අය පිළිබඳව
පැහැදිලි තොරතුරු දැන නොසිටියෙමි. ඉහත පැණයට පිළිතුරක් සෙවීම සඳහාත්, මගේ දැනුමට
යමක් එක් කර ගැනීම සඳහාත් ඒ පිළිබඳව සොයා බැලීමි.
නොදන්නා දෙයක් දැනගැනීමට අද ඇති පහසුම මාර්ගය
අන්තර්ජාලයයි. මෙම තොරතුරු සොයාගත්තේ අන්තර්ජාලය සහ හමු වූ පොත පත තුලිණි. මා
ඉතිහාසය ගැඹුරින් හදාරා නැත. ගිලිහි
ඇති යම් තොරතුරක් වේ නම්, එම හිදැස් පිරවීමට උදව් වන්නේ නම් ස්තුතිවන්ත වෙමි.
13 වන සියවස කාලිංග මාඝයන්ගේ සහ චන්ද්‍රභානු යන ආක්රමණිකයින්
අතින් සිදුවූ මහා විනාශයෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් ජනශුන්‍ය තත්වයට පත් අනුරාධපුර
රාජධානිය වනාන්තරය විසින් වසාගන්න ලදී. රුවන්වැලි මහා සෑ රදුන් ද ගස් වැල් වලින්
වැසුන පස්-ගඩොල් කන්දක්
ලෙස වනයට එක් විය. යලිත් අනුරාධපුරය ජනාවාස වුයේ කවදාද? කැලයෙන් වැසුණු සිද්ධස්ථාන
යලි සොයාගත්තේ කවුරුන් විසින්ද? කවදාද? ආදී තොරතුරු පැහැදිලි නැත.
17 වන සියවස ලක්දිව සිරකරුවකු වූ රොබට් නොක්ස්ගේ ‘An Historical Relation of the Island Ceylon’ (1681) හි අනුරාධපුරය
හරහා මල්වතු ඔය ඔස්සේ මන්නාරම දක්වා ගිය ගමන ගැන
විස්තරයක් ඇත. ‘අනරෝදබුරෝ’ යනු නගරයක් යයි කිව නොහැකි වනයෙන් වටවූ මහා තැනිතලා
පෙදෙසක් බවත් එවැනි වෙනත් පෙදෙසක් රට තුල තමා දැක නොතිබුණු බවත් එහි සඳහන්ය. එහි
සැතපුමක් පමණ විශාල පැරණි ජලාශයක් වූ බවද එය ස්වභාවික ජලාශයක් නොව ගොවි බිම් වලට
ජලය ලබා ගැනීමට මිනිසා විසින් සෑදු එකක් බවද ඔහු කියයි. අතර මග දුටු ගල් කණු සහ කළුගලින් කළ පාලම් හැරුණු විට අනෙකුත් පැරණි
නටඹුන්, පලායන සිරකරුවකු වූ නොක්ස් ගේ අවධානයට යොමු නොවීම පුදුමයක් නොවේ.
1821 දී ප්‍රකාශිත ජෝන් ඩේවි ගේ “An account of the
interior of Ceylon and of its inhabitants
with travels in that island ” හි ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගත් මුල් කාලයේ අනුරාධපුරය මෙලෙස විස්තර කරයි.
“ඉතිහාසයේ දිගු කලක් අගනුවරව පැවති ‘අනූරාදපූර’ අද වියලි
කාන්තාරයක් මධ්‍යයේ ඇති නොවැදගත් කුඩා ගම්මානයකි. එහි ඉතිරිව ඇත්තේ විශාල ජලාශයක්,
පරිසරය පුරා විසිරී පවතින ගල් කණු සහ පැරණි ස්තුප නටබුන් යයි සැලකිය හැකි පස් කඳු
දෙක තුනක් පමණි. නමුත් අදටත් එය රටවැසියන්ගේ වන්දනා මානයන්ට පාත්රවන පුජනීය
භූමියකී.” මෙම තොරතුරු ස්වදේශිකයින් වෙතින් සහ 1818 කැරැල්ල සමයේ අනුරාධපුරයට ගිය
හමුදා නිළධාරීයකු වෙතින් ලද බව ඔහු කියයි.
‘Eleven Years in Ceylon’ රචක මේජර් ජොනතන් ෆෝබ්ස්
අනුරාධපුරය ගැන සඳහන් කරන්නේ, මහා බෝධිය අවට හැරුණු කොට, බුදුන්ගේ ධාතු නිධන් කොට
ඇතැයි කියන මහා ස්මාරක නටබුන් පවා සම්පුර්ණව හෝ අර්ධ වශයෙන් වනයට යටවී තිබු බවයි.
ෆෝබ්ස් මුල් වරට අනුරාධපුරයට ගොස් ඇත්තේ 1828 දී ය. තවද ඉපැරිණි ලාංකික ගල්කැටයම්
ගැන වර්ණනා කරන ඔහු මෙසේ කියයි; “ශේෂව ඇති සිංහලයින්ගේ ඉපැරණි වාස්තුවිද්‍යාත්මක සහ
ගොඩනැගිලි කර්මාන්ත දකින විට වඩා කැපී පෙනෙන ලක්ෂණය නම් ඒවායෙහි ඇති සරළ භාවයයි.
නමුත් කලාත්මක සහ මටසිළුටු බව අතින් ඔවුන්ගේ කළුගල් කැටයම් නිර්මාණ, නවීන උපකරණ, දැනුම
සහ ශිල්ප කෞශල්‍යය යොදාගෙන අද යුරෝපයේ කෙරෙන උසස්ම තත්වයේ කළුගල් කැටයම් අභිබවා සිටී.”
ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්ත වරයෙකු වූ ආර්.ඩබ්ලිව්.අයිවර්ස්
ගේ වාර්තා වලට අනුව 1833 දී අනුරාධපුර නගරයේ ඉංග්‍රීසි නිලධාරියෙක් ස්ථාන ගතකල බවට
සඳහනක් ඇත. එම කාලයේදී පවා ශ්‍රී මහා බෝධිය රැකබලාගනිමින් පුද පූජා පවත්වමින්
භික්ෂුන් වහන්සේගේ වැඩ වාසය කර ඇත.
‘50 Years in Ceylon’ රචක මේජර් තෝමස් ස්කිනර්, රොබට්
විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා සමග 1934 දී මහනුවර සිට අනුරාධපුරයට ගිය ගමන ගැන
සඳහන් කරන්නේ; “මාතලේ, දඹුල්ල පසු කරන අතරමගදී බොහෝ වන්දනාකරුවන් හමුවිය. පුරාණ
නුවරට ලඟා වූ විට, ක්‍රිස්තු වර්ෂයට අවුරුදු හාරසිය පනහකට පෙර රෝපණය කරන ලද
ශුද්ධවූ බෝධි වෘක්ෂය අවට, ජනයාගෙන් පිරි පැවති අයුරු දිස්විය.”
1853 දී සැදැහවත් පිරිසක් එක්ව ගරාවැටී තිබු රුවන්වැලි
සෑය සුදු පිළියෙන් ආවරණය කර පින්කමක් පවත්වා ඒ මත ලෝහයෙන් නිමකළ කොත් කැරැල්ලක්
තැන්පත් කළ බවට සටහනක් ද හමුවුණි. එහිදී මූලිකත්වය ගත් අය පිලිබඳ තොරතුරු නොවිය.
නටබුන්ව තිබූ රුවන්වැලි සෑයේ පැරණි ඡායාරූප වල දක්නට ලැබෙන්නේ මෙම කොත් කැරැල්ල
විය යුතුය. යටත් විජිත පාලනයක් යටතේ වුවද ස්ථාවර සාමකාමී පරිසරයක් තිබු මෙම
වකවානුවේදී, නටඹුන් වූ වෙහෙර විහාර වැඳ පුදා ගන්නට සහ දැක බලාගන්නට ඈත පළාත්වල සිට
බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතා මධ්‍යයේ අනුරාධපුර මහ මෙව්නා උයන වෙත වන්දනාවේ ගොස්
ඇති බව පැහැදිලිය.
19 සියවස මැද කාලයේදී දොළුව, නාරංවිට රත්නායක අප්පුහාමි
පවුලේ දරුවෙකු ගමේ පන්සලේ ඇසුර ලබා කරල්ලියද්දේ ඥානතිස්ස නායක ස්වාමින්වහන්සේ
වෙතින් නාරංවිට සුමනසාර නමින් පැවිදි බව ලැබීය. පසුව උඩුදුම්බර ප්‍රදේශයේ ශාසන
සේවයේ යෙදුණු මෙම හිමි නම වන්දනාවේ ගිය
කරත්ත නඩයක් සමග අනුරාධපුර මහා මේඝ උයන වෙත ළඟාවිය. ඒ 1873 දීය.
මෙම සේයාරුවේ පැරණි වාහල්කඩ ඉදිරිපිට වැඩසිටින්නේ සුමනසාර හිමියන් විය යුතුය. |
වල් වැදී ඉතා කනගාටුදායක තත්වයක තිබූ රුවන්වැලි මහා සෑය
දැක සංවේගයට පත් උන් වහන්සේ මහ සෑ රදුන් නැවත පිරිසිදුකර යතා තත්වයට පත්කළ යුතුයැයි
අදිටනින් එම පුණ්‍ය භුමියේ ම නතර වී ඇත. අසල වූ අබලන් කරත්තයක් තම වාසස්ථානය කරගෙන
තනිවම සෑ මලුව පිරිසිදු කර පුද පූජා පවත්වමින් එහිම රැඳී සිටි උන්වහන්සේ ගේ තනි
නොතනියට සිටියේ සුනඛයෙකු පමණි. රුදුරු වනසතුන්, විසකුරු සර්පයින් සහ මැලේරියා
වසංගත ආදිය අතර, එහි වැඩසිටිමින් පොහෝ දිනවල පැමිණෙන උවසු උවැසියන් සහ පිටපලාත්
වලින් පැමිණෙන වන්දනාකරුවන්ගේ සහයෝගය ද ඇතිව ශ්‍රමදාන මගින්, මදින් මද සෑ මලුව
එළිපෙහෙළි කරමින් රුවන්වැලි සෑය යලි ගොඩ
නගා ගැනීමේ මහා කර්තව්‍යය ආරම්භ කළේ නාරංවිට සුමනසාර හිමියන්ය.
විවිධ ව්‍යාපාර මගින් මුදල් උපයා ගත් සිංහල බෞද්ධ
ධනවතුන් පිරිසක් මේ වන විටත් රට තුල මතුව
සිටියද, බෞද්ධ නායකයෝ මතුවී නොසිටියහ. බෞද්ධ ප්රභෝධයක්ද නොවිය. (1864 දී උපත ලද
දොන් ඩේවිඩ් හේවාවිතාරණ නොහොත් ධර්මපාල තුමා, එකල නව හැවිරිදි දරුවෙකි. බ්ලැවස්කි
මැතිණිය සහ ඕල්කොට් තුමා ගේ ආගමනය සිදුවුයේ 1880 දිය.)
මෙම භික්ෂුවගේ කටයුතු ආරංචි වී එවකට එම පළාත බාර රජයේ
ඒජන්ත වරයා වූ ඩික්සන් මහතා එහි පැමිණ සුමනසාර හිමිගේ නොපසුබට උත්සාහය ගැන ප්‍රසාදය
ඇතිවී එවකට සිටි විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා (1872 – 1877) වෙත ඒ
පිළිබඳව දන්වා ඇත. “වන කඩතුරාවෙන් වැසි ඇති මෙම සුන්දර සිහිවටනය නිරාවරණය කිරීමට
සහයෝගය දීම එහි බාරකරුවන් වන අපගේද වගකීමකි” ("The Maha Seya looked a beauty in purdah. As guardian of this
damsel, we need to give support to unveil the beauty of this.") යනුවෙන් එම
ලිපියේ වූ බවට දැක්වේ. පැරණි නටබුන් පිළිබඳව උනන්දුවක් දැක්වූ ග්‍රෙගරි ආණ්ඩුකාර
තුමා එහි පැමිණ සුමනසාර හිමියන් වෙහෙස නොබලා තනිවම කරන මහා වැඩ කොටස දැක පැහැදී එම
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් දහසක පෞද්ගලික පරිත්‍යාගයක් කළ බවද සඳහන්ය.
ආණ්ඩුකාර තුමා මෙම පුවත සහ එම කටයුත්තයෙහි වටිනාකම දැනුවත් කරමින් තම ඉහළ
නිලධාරින් වූ, බ්‍රිතාන්‍යයේ යටත් විජිත පිලිබඳ රාජ්‍ය ලේකම්වරුන් ව සිටි
කිම්බර්ලී සාමි මෙන්ම කාර්නවන් සාමි සමගද කරන ලද ලිපි ගනදෙනු පිළිබඳ තොරතුරු ඇත.
1876 දී ආණ්ඩුකාර තුමා පෞරාණික දේ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ කාර්නවන් සාමි
වරයා වෙත යවන ලද වර්තාවක සුමනසාර හිමියන්ගේ කැපවීම සහ එම ශාසනික කටයුත්තේදී දෙන
නායකත්වයත්, කිසිදු පුද්ගලික වාසියකින් තොරව පින් පිණිස පමණක්ම උන්වහන්සේ සහ ජනතාව
තම ශ්‍රමය සහ ධනය වැය කිරීමත් අගය කර ඇත. අද මෙන් මහා පරිමාණ තාක්ෂණික උපකරණ
නොතිබූ එම අවධියේ දී, කැත්ත උදැල්ල භාවිතයෙන් මෙම කටයුත්තෙහි නිරතවූ සුමනසාර
හිමියන් යටත් විජිත පාලකයන්ගේ අනුග්‍රහය ලබන අතරම, ලාංකීය සිංහල බෞද්ධ දානපතියන්
ගේ ආකර්ෂණය සහ විශ්වාසය දිනා ගැනිමටද සමත් විය.
(සුමනසාර හිමියන්ගේ අපවත්වීම සිදුවුයේ කිනම් කාල වකවානුවකදැයි සඳහනක් නොමැති
නමුත් උන්වහන්සේ වසර 30 කට අධික කාලයක් රුවන්වැලි සෑ ගොඩනැගීමේ කටයුතු සඳහා කැපකළ
බව පැහැදිලිය.)