Pen Friend

4/15/2015

"හපන්කම් මෝඩකම් සහ පුරසාරම්" 1960 දශකයේදි මා කියවූ පොතකි. කතෘ හරියටම මතක නැත. ඒ ලාල් ප්‍රේමනාත් ද මැල් හෝ වී. ඩී. ද ලැනරෝල් මහතා විය හැක. පොතේ අන්තර්ගතය ගැනත් ලොකු මතකයක් නැත. නමුත් එහි සඳහන් වූ එක් මෝඩ කමක් නම් තවමත් මතකයේ පවතී. කතුවරයා කුඩා කාලයේදි, රාත්‍රියට කෑගසන ගෙම්බන් ට දඬුවමක් දීමට සිතා පොල්කටු වලින් වැසූ බවත් දින කිහිපයකට පසුව මතක් වී බැලූවිට මියගොස් සිටි ගෙම්බන් ගෙන් දැඩි දුගඳක් හැමූ බවත් එහි සඳහන්වුණි. එම සිදුවීම මා සිත තුල තහවුරු වූයේ එවැනි  අසාර්ථක පර්යේෂණ මා අතින්ද සිදුවී ඇති බැවින් විය හැක.


 මෑත කාලයේ සිට ළමා කාලය දක්වා මගේ ජීවිතයේ විවිධ සිදුවීම් සිහිකළෙමි. ඒවා ලීවොත් හඳුන්වන්නට සුදුසු වන්නේ ද 'හපන්කම් මෝඩකම් සහ පුසාරම්' වැනිම නමකි. ඊට අමතරව 'තක්කඩිකම්' යන වචනය ද එක් කිරීම උචිත යයි සිතමි.

 "හපන්කම් මෝඩකම් තක්කඩිකම් සහ පුරසාරම්"

 සමරසිංහ ගුණසේකර නම් මහත්මයෙකුගේ පොතක් මෑතකදී කියවීමි. "පස්සට හැරී ඉදිරියට යාම" වැනි නමකි. එතුමා අධ්‍යාපනික පොත් සහ සමාජ විද්‍යාත්මක පොත් සෑහෙන ගණනක් ලියා ඇති බවත් නවකතා හෝ කෙටිකතා නිර්මාණ කිරීමට උත්සාහ නොගත්තේ නොහැකි කම නිසා බවත් එහි සඳහන් වුණි. එම පොතෙහි ඇතුලත් වූයේ එතුමා ගේ ජීවිතයේ දී ලද විවිධ අත්දැකීම් එලෙසින්ම ඉදිරිපත් කිරීමකි.

මගේ උත්සාහයද එවැන්නකි. (කෙටියෙන් යමක් ඉදිරිපත් කිරීමට ඇති මගේ නො හැකියාව ගැන කමන්න.)

මේ facebook (fb) නිසා මා ලද අත්දැකීමකි. 'මුහුණු පොත' හෝ 'බුකිය' යන නමින් හැඳින්වීම මට නුහුරුය.

මගේ පරම්පරාවට අයත් මෙරට වෙසෙන අයගෙන් fb ඉන්නේ බොහොම සුළු පිරිසකි. ඒ අය අතරින් ද නිතිපතා එහි ගැවසෙනුයේ අවමයකි. අද සමාජයේ විශ්‍රාමිකයන්ට වුව විවේකයක් නැත. 50 දශකයේ හෝ ඊට පෙර උපත ලද අප, 90 දශකය වනවිට තම තමන්ගේ ඉරණම් පරිදි ජීවිතයේ මූලික කටයුතු අවසන් කළ අය වූහ. තරඟකාරී සමාජ රටාවකට යොමුවූ උත්සාහවන්ත කොටස හැරෙන්නට සරළ දිවියකට යොමුවූ, ලද දෙයින් සතුටු වූ වැඩි පිරිසකට අළුතින් යමක් ඉගෙනීමේ අවශ්‍යතාවයක් මතු නොවිණි. අළුත් තාක්ෂණය අනාගතය ජයගන්න සිටින තම දරුවන්ට ලබාදීමෙන් ඔවුහු සෑහීමට පත්වූහ. නමුත් තවත් කොටසකට අකැමැත්තෙන් නමුත් තම රාජකාරි අවශ්‍යතාවයන් සඳහා වෙහෙස ගෙන මේ නුහුරු තාක්ෂණය ඉගෙනීමට සිදුවූහ. මා අයත් වන්නේ එම තෙවැනි කොටසටයි.

එවකට මා රැකියාව කළ ආයතනයට ස්වීඩ්න් ජාතික මහාචාර්ය වරයකුගෙන් පරිගණක යන්ත්‍රයක් තෑගි ලැබුණි. ඉන් අනතුරුව එතුමා බලාපොරොත්තු වූයේ e-mail මගින් තොරතුරු හුවමාරු කර ගැනීමයි. මා බලවත් අපහසු තාවයකට පත් වූයේ මෙහිදීය. අකැමැත්තෙන් නමුත් එම කාරියට යොමු වීමට සිදුවුණි. එහිදී ලද හුරුව සහ අවබෝධය නිසාම, බිරිඳගේ අකැමැත්ත ද නොතකා පුතාට පරිගණකයක් මිළට ගෙන දුණිමි. (මන්ද, ඒ දරුවන්ට පරිගණක ලබාදෙන්ට අදිමදි කළ යුගයකි. එහිදී පුතා සහ මා අතර ඇතිවූ එකඟතාවය නම්, පරිගණකය තිබෙන්නේ චිත්‍රපට බැලීම හෝ කාර් රේස් ක්‍රීඩා සඳහා නොවේය යන්න යි.) එය ආයෝජනයක් විය. පසු කාලීනව පරිගණකය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳව මගේ ගුරුවරයා වූයේ ඔහුය. මා වැඩිදුර ඉගෙනගත්තේ ද උපදෙස් ගත්තේ ද පුතාගෙනි. මට fb පිටුවක් සාදා දුන්නේද ඔහුමය. friends ලා හැටියට මුළින්ම සම්බන්ද වූයේද පුතා, අක්කාගෙ දුව සහ තව ත් කිහිප දෙනෙකු පමණි.

එක් දිනක රතු තිතක් සමග fb message එකක් විය. එහි සඳහන් වූයේ "Long ago I had a pen friend in Sri Lanka with a similar name . Is that you? I am Ulrike" යන්නයි. එම ඉතිහාස කතාව මෙසේ සඳහන් කරමි.

අප අ.පො.ස. පන්තිවල උගන්නා අවධියේදී ඉංග්‍රීසි විෂයය අප උන්දුවෙන් හැදෑරූ විෂයයක් නොවීය. සිංහල පමණක් සෑහේ යයි එකල මතයක් පැවතුණි. එක දිනක අපේ ගණිත ගුරුතුමා වූ වීරසේකර මහතා (ඔහු අප සිත් දිනාගත් තරුණ ගුරුවරයකු විය) ගණිත පාඩම අවසානයේදි අපට කුඩා කඩදාසි කැබලි වගයක් බෙදාදුණි. වටේට නිල්-රතු ඉරි කැබලි සහිත බෝඩරයක් වූ ඒවායේ විදෙස් රටවල ලිපිනයන් සඳහන්වී තිබුණි. ඒ International Youth Service (IYS) නම් ආයතනයකින් නිකුත්කළ පෑනේමිතුරු මිතුරියන්ගේ ලිපිනයන් රැසකි. එතූමාගේ උපදෙස් පරිදි අප ගැන තොරතුරු, අපේ පාසල සහ ලංකාව පිළිබඳව තොරතුරු සඳහන් රචනාවක් ඉංගිරිසි බසින්සකස් කළෙමු. පසුව එම රචනාව ගුවන්ලියුමක ලියා අපට ලැබුනු ලිපිනයන්වෙත තැපැල් කළෙමු (ඒ දිනවල Aerogramme නමින්හැඳින්වූ ගුවන්ලියුම් අද ඇතිදැයි නොදනිමි. එකක් ශත 35 ක් හෝ 50 ක් විය.) සති දෙක තුනකට පසුව එම ලිපි සඳහා පිළිතුරු ලැබීම ඇරඹුණි. සැමටම පිළිතූරු නොලැබුණු අතර, පිළිතුරු ලද දස දෙනෙකු පමණ වූ පිරිස අතුරින් මාද එක් වාසනාවන්තයෙක් වීමි. ඊ ළඟට අප මුහුණ දුන්නේ එම ලිපි සඳහා පිළිතුරු යැවීමේ ගැටළුවටය. මුලදී අමාරුවෙන් ඉංගිරිසි ගැටගසාගෙන දන්න කෙනෙකුට කියා නිවැරදි කරගෙන අපහසුවෙන් ලීවෙමු. පසුව කල් යාමේදී තනිවම ගලපාගෙන ශබ්ධකෝෂ උපකාරයෙන් ලියාගන්න ට පුරුදු වීමු.

ඇගේ නම Ulrike ය. දකුණු ජර්මනියේ අශ්වයින් ඇතිකරන ගම්මානයක දැරියකි. අප සමාජ පරිසරයේ වූ විවිධ සීමා සම්මත අතර, සම වයස් තරුණ තරුණියන් ලිපි ගනදෙනුව, අනුමත යහගුණයක් නොවිය. ඒ නිසාම ඇය සමග ඇතිවූ ලිපි ගනදෙනුව, අදහස් හුවමාරුව යොවුන් වියේ සුන්දර අත්දැකීමක් විය. අප මුද්දර, පින්තූර තැපැල්පත්, ඡායාරූප ආදිය හුවමාරු කර ගතිමු. වරක් ඇය මට වර්ණ සේයා පටලයක් සහිත කුඩා කැමරාවක් එවා තිබුණි. ඒ යුගයේදී අපට, වර්ණ ඡායාරූප ඉතා දුර්ලභ දෑ විය. එදා අද මෙන් විදෙස් පාර්සල් නිවසට ගෙනැවිත් බාර දුන්නේ නැත. ඒවා ප්‍රධාන තැපැල් කාර්යාලයේ රඳවාගෙන දැන්වීමක් පමණි නිවසට ලැබුනේ.

තාත්තා, ඒ අවස්ථාව මට වටිනා අත්දැකීමක් ලබාදීමට යොදාගත් ආකාරයද මට හොඳින් මතකය. පාසල් නිවාඩු කාලයක් බැවින් මට තනිවම කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් එය රැගෙන එන ලෙසට දැනුම් දුන් තාත්තා ගමන් මග සහ අනෙකුත් උපදෙස් ද පැහැදිලි ලෙස ලබා දුන්නේය. ඊට පෙර දී අන් අය සමග කොළඹ යාම අරුමයක් නොවූවද , තනිවම අගනුවර ප්‍රධාන ආයතනයකට ගොස් අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමේ පළමු අත්දැකීම එදින මම ලදිමි. තැපැල් කාර්යාලයේ නිළධාරි මහත්වරුද ඉතා කරුණික ළෙස මා පිළිගෙන එම පර්සලය නිදහස්කර දුන් ආකාරය අදත් මා මතකයේ පවතී. ඉංගිරිසි බස හුරුවීම අගය කළ නිසාම, ඇයට තෑගි යැවීමට මට මුදල් ලබාදීම අපතේ යැවීමක් ලෙස මා දෙමාපියන් නොසැළකූ බවද දනිමි.මා ඇය වෙත යැවූ යේ කුඩා වෙස්මූණක් සහ පන්කොල පසුම්බියකි. ඇය විසින් එවන ලද වර්ණ සේයා පටලයේ සේයාරූ මුද්‍රණය කර ගත්තේද එය ඇය වෙතම යැවීමෙනි.

මෙලෙස වසර කිහිපයක්ම අපි ඉතා සුහදව ලෙන්ගතුව ඇසුරු කළෙමු අප දෙදෙනාම යොවුන් වියෙහි වූ අතර වරක් ඈ ඇගේ boy friend කෙනෙකු ගැන සඳහන්කර එවූ ලිපියකින් මම බලවත් සේ කම්පාවට පත්වීමි. නමුත් අප මිතුදම එලෙසම පැවතිණි. පාසල හැරයන විට මගේ පන්ති මිතුරන් සැමදෙනාගේම පාහේ පෑනේ මිතුරු මිතුරියන් සමග වූ සබඳතා නැවතී තිබුණි. මා වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යාපනය ලබන කාලයේ පවා අපි එකිනකා සමග ලිපි හුවමාරු කර ගතිමු. ඇය නීති අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන බව සඳහන් කළාය. රැකියාවට යාමෙන් පසුවද කලක් අප දෙදෙනා අතර ලිපිහුවමාරුව පැවති අතර, එය මදින් මද අඩුවී අපට නොදැනීම නැවතී තිබිණි. ඒ 1982 දී පමණය.

මා ඉහතින් දැක්වූ fb message එක ලැබුනේ 2009 දීය. ඒ මා විශ්‍රාම ලැබ නිදහස් දිවියක් ඇරඹූ අළුතය. ඇය බැංකුවක නීති නිළධාරිනියක ලෙස කටයුතු කරන බවත් ඇයට එක් දියණියක සිටින බවත් සඳහන් කළාය. ඇගේ fb ගිණුම අරඹා දී, ලොව ඕනෑම තැනක සිටින කෙනෙකු සම්බන්ධ කරගත හැකිබවට ඇගේ සැමියා කළ යෝජනාව අත්හදා බැලීමට මගේ නම ඇතුලත් කර search කළ බවත් මගේ fb ගිණුම දැක පුදුමයට මෙන්ම සතුටට පත් බවත් ඇය සඳහන් කළාය. යොවුන් වියේදී පෑනේ මිතුරන්ව සිටි අප වැඩිහිටි වියේදී e-මිතුරන් වීමු. fb සහ e-mail හරහා අපි නිතරම අදහස් හුවමාරු කරගතිමු.

වරක් ඈ skype හරහා සම්බන්ධ වීමට යෝජනා කළාය. ඒ වන විටත් මට skype පිළිබඳව අත්දැකීමක් නොවීය. මෙහිදී ද මගේ පිහිටට ආවේ මා පුත්‍රයාමය. ඔහු පරිගණකය ට webcam උපකරණයක් සවිකර එම අවස්ථාව ද උදාකර දුන්නේය.

ඒ සුවිශේෂී දිනයක් විය. දශක හතරකට පමණ පෙර අහම්ඹෙන් හඳුනාගත් අප දෙදෙන, පළමුවරට මුහුණට මුහුණ බලා කතා කිරීමට අවස්ථාව ලදිමු. එවකට 'James Bond' චිත්‍රපට වලින් හා 'ඩීමන් ආනන්ද'ගේ පොත් තුලින් පමණක් දුටු ඒ අනාගත තාක්ෂණය සැබවින්ම අත්දැකීමට වාසනා වන්තයෙක් වීමි. (ආතර් සී. ක්ලාක් මහතා ගේ පත පොත සහ අදහස් සම්භාව්‍ය කෘතින් ලෙස සැලකීමට අප පුරුදු වී සිටියෙමු.) ඈ ඇගේ සැමියා හා දියණියද skype හරහා හඳුන්වා දුන්නාය. මා පුතු මෙන්ම බිරිඳ, සන්ධ්‍යා ද කතා බහ ට එක් වූහ.

සියල්ල අවසානයේ සතුටු සිතින් ආපසු හැරුණු පසුය දුටුවේ, සිදුවමින් පවතින ක්‍රියාවලියේ අයහපත් පැත්ත. සන්ධ්‍යාගේ මුහුණේ නම් සතුටක සේයාවකදු නොවූ අතර මහා අමනාපයක ලකුණු පමණි මා දුටුවේ........!

You Might Also Like

0 comments