පොතක කතාවක්........ මා කියවූ ප්‍රථම යොවුන් නවකතාව.

8/20/2016



මා කියවූ ප්‍රථම යොවුන් නවකතාව.

විවේකයෙන් සිටින වෙලාවට අතීතයේ මතකයන් සිතට එන එක අරුමයක්  ම නොවේ. තමන්ගේ යුතුකම් ඉටු කරලා ඉවරයි කියල හිතාගෙන ඉන්න, ලොකු බලාපොරොත්තු අරමුණු නැති වැඩිහිටියෙක් හැටියට හෙට දිනය ගැන හිතන්න අවශ්‍ය නැහැ. මාසිකව කීයක් හරි පොතට ලැබෙන විශ්‍රාමිකයෙක් නිසා ලබන මාසය කන්නේ කොහොමද කියලා ලොකු බියකුත්  නැහැ. ඊ ළඟ වසරත් කොහොම හරි ගෙවෙන බව දන්නා නිසා අනාගතය ගැනත් සැලසුම් නැහැ. සිතට දැනෙන එකම අවිනිශ්චිත තාවය තමයි දෛවයේ ලියැවිලා  තියෙන්නේ “මැරිලා වැටෙන්නද නැතිනම් වැටිලා මැරෙන්න ද” කියලා නොදන්නා බව. ‘වැටිලා’ දිගු කාලයක් දිවි ගෙවීමට සිදු වූවොත් එය  දුකක්. දීර්ඝායු කියන්නේ වාසනාවක් නොවේ  අවාසනාවක් නේද කියල,  ඒ වාසනාව ලද සමහර අය දකින විට මගේ සිතට දැනෙන සිතුවිල්ලක්. ළමා කාලයේ මතකයන් සිතට සැහැල්ලුවක් ගෙන දෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ, පොත් සම්බන්ධව සිදුවූ සිදුවීම් දෙකක් නිසා අවුරුදු පනහකටත් එහා ළමා කාලය වෙත සිතුවිලි යොමු වුණා. 

එක සිද්ධියක් තමා  “කුඩ හොරාගේ දියමන්ති ජුබිලිය” ඒක දැක්කෙත් facebook එකේ. ‘සිබිල් නැන්දා’ (අපි එදා ඇයව හැඳින්නුවේ එහෙමයි) fb එකේ විවෘත ආරාධනාවක් කරලා තිබුණා කුඩහොරාට වසර හැටයි උත්සවය සඳහා සහභාගී වන්න කියා. මා දුටුවා fb එකේ සමහර මිතුරු මිතුරියෝ තමන්ගේ කුඩා දූ පුතුන් සමග ‘කුඩහොරාට වසර හැටයි’ ප්‍රදර්ශනයට ගිය බව. 

කුඩහොරාට වසර හැටයි කියන්නේ කුඩහොරා ඉපදෙන කොට මට අවුරුදු දෙකක් තුනක් තරම. රජයේ ගුරු යුවලකගේ දරුවෙක් හැටියට මගේ ළමා කාලය එතරම් කටුක වූයේ නැහැ. සාමාන්‍ය සෙල්ලම් බඩු වගේම ළමා පොත් පත් අපට තෑගි ලැබුණා. මට මතක මුල්ම ළමා කතා පොත තමා “රන් එතනාගේ පොඩි දුව” ඒක ලියලා තිබුණේ “සුමනා සපරමාදු නැන්දා”. ඊට පස්සේ ලැබුණ පොත් අතර “අලි බබා ඉස්කෝලේ ගිය හැටි” , “රතු බයිසිකලය”, “කිරි මුට්ටිය” වගේ කතා මතකයේ තියෙනවා. ඔය අතරේදී තමයි  “කුඩ හොරා” කියවන්න ලැබුණේ. හැබැයි මම කුඩහොරාට එතරම් කැමති උනේ නැහැ. මොකද එකේ පින්තූර අර අනිත් පොත් වල පින්තූර තරම් මගේ හිත ගත්තේ නැහැ. අකුරු අස්සේ පොතේ පිටු පිරෙන්න ලොකුවට පින්තූර ඇඳලා තිබුණේ, පැහැදිලි පිරිසිදු ඉරි වලින් ම නොවේ. මිනිස් රූප උනත් එච්චර ලස්සනට පෙනුනේ නැහැ.

පොත් සම්බන්ධව වූ අනෙක් සිදුවීම මෙහෙමයි. අපේ ‘තානායම්පල’ චමින්දගෙන් ඉල්ලීමක් තිබුණා දුර පළාතක පුස්තකාලයකට පොත් පරිත්‍යාගයක් කරන්න බලාපොරොත්තු වන බැවින් එයට දායක වන්න කියලා. (‘තානායම්පල’ කියන්නේ චමින්ද දිසානායක මහතා විසින් ආරම්භ කළ facebook Group එකක්. වටිනා සමාජ සත්කාර බොහොමයක් ඒ තුලින් කෙරෙනවා.) කුඩා අවධියේ සිටම පොත් කියවන්න තියනවනම් බඩගිනි නොඑන මිනිසෙක් වූ මට, ඕනෑ වුණා ඒ වැඩේට යම් අයුරකින් දායක වන්න. විශ්‍රාම ලබපු අලුත පැරණි  ලියකියවිලි අස් කරද්දී මගේ පොත් එකතුවෙන් වැඩි ප්‍රමාණයක් පුස්තකාලයකට පරිත්‍යාග කළා. සුවිශේෂී වූ පොත් ටිකක් පමණයි ඉතිරි කර ගත්තේ. 

‘තානායම්පලට’ පොත් සොයද්දී ඒ පොත් අතර තිබී මා කියවූ පළමු ‘යොවුන් නවකතාවේ’ පිටපතක් හමුවුණා. ඒක මා මුළින්ම කියවුයේ වසර පනහකටත්  පෙර. පොතේ මුද්‍රණය කරලා තිබුණේ නැහැ  ‘යොවුන් නවකතාව’ කියල. මා දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි ඒක වචනයේ පරිසමර්තයෙන්ම ‘යොවුන් නවකතාවක්’. “රන් එතනාගේ පොඩි දුව” පොතෙන් පටන් අරන් ලොකු අකුරින් මුද්‍රණය කළ ළමා කතා ගොඩක් කියවලා තිබුණු මට අවුරුදු 8-10  කාලයේ වෙන්න ඕනෑ මේ පොත තාත්තා ගෙනත් දුන්නේ. සිංහල පොතේ මුල් මුද්‍රණය හැටියට සඳහන් වෙන්නේ 1961. පොතේ නම ‘හේතු’. මා දන්නේ නැහැ ඔබ කී දෙනෙක් ‘හේතු’ කියවලා තියනවද කියල. මගේ මතකයේ නම් හොඳින්ම රැඳුණු පොතක්. මුද්‍රණය කරලා තිබුණේ කුඩා අකුරු වලින්. වෙනස් ආරක පින්තුරත් තිබුණා. කුඩා අකුරු වලින් පිටු පිරෙන්න තිබුණූ නිසා ඒ කාලයේ නම් එය කියවන්න එතරම් ආසා හිතුනේ නැහැ.පසුව එය කියවුයේ ඉතා කැමැත්තෙන්. ඒ ‘මඩොල් දූව’ කියවීමටත් පෙර. කාලයත් සමග ඒ පොත මා වෙතින් දුරස් වී තිබුණා.

යලිත් වතාවක් අහම්බෙන් පොත් ප්‍රදර්ශනයකදී ‘හේතු’ දුටුවේ 2000 දශකයේ  මුල් කාලයේදී. දුටු ගමන් පිටපත් කිහිපයක් මිලදී ගෙන පුතාටයි අනෙකුත් ඥාති දූලා පුතාලටයි  තෑගි දුන්න. ඒ අය මා රස විඳි ආකාරයට ම එය  රස වින්දා ද කියාත් මා දන්නේ නැහැ. 



‘හේතු’ හි කතාව පසුගිය ශතවර්ෂයේ මුල් කාලයේ මෙරට කළුවර ලී වලින් අලි කැටයම් කිරීම ජීවන වෘත්තීය කරගත් ජන කණ්ඩායමක්  වටා ගෙතුනක්. මෙහි කතා නායකයා ‘හේතු’, සම්ප්‍රදායික කැටයම් වලින් බැහැරව අලුත් දේ කළ යුතු බව සිතු යොවුන් දරුවෙක්. නමුත් වැඩිහිටියන් ඔහුගේ අදහස් පිළිගන්නේ නැහැ. හේතු තම හිතවත් ‘හුදා’ නම් ගොනා ද සමග ගමෙන් පිටව ගොස් වන මැද පිහිටි නටබුන් විහාරයක සිට වෙනත් ආකාරයේ නව කැටයම් අත් හදා බලනවා. අවසානයේ හේතු තම අලුත් කැටයම් මගින් ජීවිතය ජය ගන්නා ආකාරය සිතට දැනෙන  ආකාරයට විස්තර කර තිබෙන මෙම කතාව, අද ධනාත්මක චින්තනයේ එන කොටුවෙන් පිට සිතීම, පවතින සම්ප්‍රදාය අභියෝගයට ලක් කිරීම, සුදුසු මොහොතේදී සුදුසු තීරණය ගැනීම ආදී ගුණාංග මතුකර තිබෙන්නක්. ඊට අමතරව දරුවෙක් සහ ඔවුන්ගේ කරත්තය අදින තිරිසන් සතෙකු අතර ඇතිවන අපූරු මිතු දම සහ අවබෝධය මේ කතාව පුරා දිව යනවා.


   




ඉංග්‍රීසියෙන් ලියැවුන මුල් කෘතිය පලවී ඇත්තේ 1946 ඇමෙරිකාවේදී. ‘Paji’ නමින්. කර්තෘ එස්තර් කිවියැට් (Esther Kiviat ) නමැත්තියක්. සිංහලට පරිවර්තනය කර ඇත්තේ ඒ මහා පරිවර්තක ඒ.පී.ගුණරත්න ශුරින්. මොහොතකට හෝ හිතෙන්නේ නැහැ මෙය පරිවර්තනයක් කියා. මෙහි අඩංගු සිතුවම් කතාවේ වටිනාකම බෙහෙවින් වැඩි කරනවා. සිංහල පරිවර්තනයේ යොදා ඇත්තේද මුල් පොතේ සිතුවම් මයි. චිත්‍ර ශිල්පියා හැරල්ඩ් ප්‍රයිස් (Harold Price) නම් අයෙක්.

මුල් කෘතියේ කතුවරිය 1900 මුල් දශක වල ලංකාවේ ජීවත් වූ අයෙක් විය යුතු යයි මා සිතුවා. එසේ නොමැතිව එවැනි කතාවක් ගෙතීම අපහසුයි. 1961 මුල් සිංහල මුද්‍රණය යුනෙස්කෝ ආයතනය මගින් කළ එකක් බවටයි මගේ මතකය. 1999  මුද්‍රණය සූරිය ප්‍රකාශනයක්. Esther Kiviat ගේ ලංකා සම්බන්ධය පිළිබඳව වැඩි තොරතුරක් අන්තර්ජාලය හරහා හෝ සොයා ගැනීමට ලැබුනේ නැහැ. බැද්දෙගම කියවලා ‘Villege in the Jungle’ කියවන්න ආස හිතුන වගේ මට ආසාවක් ඇතිවුණා ‘Paji’ කියවන්න. ‘Paji’ ගැන අන්තර්ජාලයේ  Abebooks සහ Amazon වැනි online shops වල පිටපත් කිහිපයක් තිබෙන බව දුටුවා. නමුත් ඔවුන් සඳහන් කළා ලංකාවේ ලිපිනයකට එවීමට නොහැකි බව. 


මා ඊ ළඟට ගත හැකි උත්සාහය වෙත ගියා. එනම් ඇමරිකාවේ පදිංචි මගේ fb මිතුරන් දෙදෙනෙකුට inbox කළා මට ඒ උදව්ව කළ හැකිදැයි අසා. ඔවුන් මගේ ඉල්ලීම ඉටුකිරීමට උත්සාහ ගන්නා බව දැනුම් දී තිබුණා.  දිනක් එක් නැගණියක දන්වා තිබුණා ඇය පොත ගෙන්වා ගත් බවත් තැපැල් මගින් මා වෙත ලැබෙන්නට සලස්වන බවත්. ඇතිවූ සතුට කියා නිම කරන්නට බැහැ. තැපෑලේදී මදක් පමා වුවත් ඒ මහා අනර්ග වස්තුව පසුගියදා මා අතට පත් වූවා. (මේ facebook හරහා මා ලද තවත් එක් වටිනා අවස්ථාවක්. එම නැගණිය පාසල් සමයේ අපගේ මිතුරියක්. 1970 දශකයේදී ඇගේ දෙමාපියන් ඇමරිකානු පුරවැසි බව ලබා දරුවන් ද සමග එහි පදිංචියට ගියා. ඉන් පසුව අප අතර සබඳතාවයක් තිබුණේ නැහැ. වසර  40 කට පමණ පසු මෑතකදීයි  අප fb හරහා නැවත හමු වූයේ. )

1946 මුල් මුද්‍රණයේ පිටපතක් වසර 70 කට පසුව එය අගය කරන අයෙකුට ලබාගැනීමට හැකිවීම ආශ්චර්යයක් ම නොවන්නේද? සැබවින්ම මට එය, එහි සැබෑ වටිනාකම මෙන් සිය දහස් ගුණයක් වටිනා කෞතුක වස්තුවක්. ඒ.පී.ගුණරත්න ශුරින් ගේ පරිවර්තන වල වටිනාකම දැනෙන්නේ මෙවැනි අවස්ථා වලදීම යි. 'Big cheap elephant factory' යන්න සිංහලට නගා තිබුණේ 'අලිලාබ අලිමඩුව' ලෙසින්. ‘Paji’ සහ ‘Push-ba’ වෙනුවට තෝරා ගත්තේ 'හේතු' සහ ‘හුදා’; කෙතරම් ලස්සනද? කතාව මා දන්නා නිසා හෝ ඉංගිරිසිය මගේ දෙවන බස නිසා හෝ හුදු කුතුහලය සංසිඳුනා හැරෙන්නට ‘Paji’ කියවීමෙන් වැඩි ආශ්වාදයක් ලැබුණේ නැහැ. නමුත් මගේ මූලික ගැටළුවට පිළිතුරක් නම් ලැබුණි. 

පොතේ සඳහන් ආකාරයට සිදුවී ඇත්තේ මෙයයි. Esther Kiviat ලංකාවට පැමිණ නැත. ලංකාවට පැමිණ ඇත්තේ වාණිජ නාවිකයෙකු වූ Harold Price ය. ඒ 20 වන සියවසේ මුල් භාගයේදී විය යුතුයි. මෙහි ගත කළ කාලය තුල ඔහුට රජරට නටබුන්  නගර වල සහ ගැමි පරිසරය තුල සංචාරයට අවස්ථාවක් ලැබී ඇති අතර,  කලාකාමී චිත්‍ර ශිල්පියෙකු ද වූ Harold තමා දුටු දේ සිතුවමට නගා ඇත. මුල් පොතේ සඳහන් අන්දමට ඔහු ‘Anapura’ නම් ගම්මානයකදී (මේ සඳහන් වන්නේ අනුරාධපුර ගැන විය හැක.) දුටු ගැමි පරිසරය සහ ගැමි දරුවන් පිළිබඳව චමත්කාර මතකයන් කටු සටහනට නගා ඇමෙරිකාවට රැගෙන ගොස් ඇත. ඔහු කළුවර අලි කැටයම් කරන ගම්මානයකටද යන්නට ඇත. ගොනුන් බැඳී කරත්ත සහ ගැමියන් සහ ගොනුන් අතර ඇති සබැඳියාවද ඔහු සිත් ගන්නට ඇත. වන ගත නටබුන් විහාර තුල වූ ගල් කැටයම් ආදිය පිළිබඳව ඔහු අමන්දානන්දනයට පත් වන්නට ඇත.




නැවත ඇමරිකාවට ගිය Harold, තම අද්දැකීම් Esther ට පවසන්නට ඇත. ඇය පිළිබඳව බොහෝ තොරතුරු නැතත් ලේඛිකාවක, ළමා ක්‍රියාකාරිනියක, පරිසරවේදිනියක,ඡායාරූප ශිල්පිනියක වූ Esther Kiviat (1915-2009) කෙනෙකු ගැන අන්තර්ජාලයේ සඳහන්ව ඇත. “Changing Tides – Tivoli Bays : A Hudson River Wetland” නම් පොතක් ඇය විසින් කර ඇත. ඇය 1950-60 දශක වල කුඩා දරුවන් සඳහා වාර්ෂිකව ගිම්හාන කඳවුරු (Jug Hill Camp Clinton Coners, NY)  සංවිධානය  කළ බවද සඳහන්ය. ළමා ක්‍රියාකාරිනියක වූ  Esther අතින් මේ අපුරු කතාව ලියවෙන්නට ඇත. සමහර විට කතා සැකිල්ලද Harold ගේ ම විය හැක. ‘Paji’ සහ ‘Push-ba’ ගේ කතාව ගොඩනැගී ඇත්තේ එසේය.

යුනෙස්කෝ ව්‍යාපෘතියක් තුලින් මෙය සිංහලට පෙරලන්නට තීරණය වන්නට ඇත ‘හේතු සහ හුදා’ ගේ කතාව ලෙස ඒ.පී.ගුණරත්න ශුරින් අතින් පරිවර්තනය වි ඇත්තේ මෙම කතාවයි. 


බ්‍රිතාන්‍ය ජාතිකයින් අතින් ලංකාව පසුබිම් කොට ඉංග්‍රීසියෙන් ලියැවුණු කතා බොහොමයක් සිංහලයට පරිවර්තනය වි ඇති නමුදු ඇමරිකන් ජාතිකයින් අතින් ලංකාව පසුබිම් කොට ලියැවුණු කතා එතරම් නොමැති බවයි මා සිතන්නේ. එයයි ‘හේතු’ තුල මා දකින අනෙක් විශේෂත්වය. 

You Might Also Like

0 comments