ආතා සහ ලොකු අම්මා

4/17/2015



මගේ ළමා කාලයේ මතකසටහන් බිඳක් .....


 ආතා සහ ලොකු අම්මා 


පෙර ආත්මය ගැන කතාකරන සුවිශේෂී පුද්ගලයන් හැරුන විට සාමාන්‍ය පුද්ගලයකුට සිහියට නගා ගත හැකි අතීත කාලයේ සීමාවක් ඇත. මගේ ජීවන මතකයන් ඔස්සේ ආ පස්සට යන විට මට ළඟා විය හැකි උපරීම සීමාව මගේ වයස අවුරුදු තුනක පමණ කාලයයි.  එවකට අප ජීවත් වූයේ මිනුවන්ගොඩය. ඒ මගේ පියා එකල දිවුලපිටිය කණිටු පාසලේ මුල්ගුරු ලෙස සේවය කළ බැවිණි. වසර 1956 හෝ 1957විය යුතුය.

කලින් කලට ස්ථාන මාරුවීම් ලබා, රට වටා විවිධ ප්‍රදේශ වල සේවය කළ ගුරු පවුලක දරුවෙකු ලෙස, මගේ පාසල් සමය අවසන් වන විට මා, විවිධ වාසස්ථාන විසිපහක පමණ පදිංචිව සිටින්නට ඇත. ඒ  දිනවල  පදිංචිව සිටියේ 'මොනිකා ඇන්ටිලාගේ ගෙදර' යන සංඥා නාමයෙන් අප තිදෙන, එනම් අක්කා අයියා සහ මා හඳුන්වන නිවසේය. ඊට පෙර මිනුවන්ගොඩම සිටි 'පොලීසිය ඉස්සරහා ගෙදර' පිළිබඳව මට ඇත්තේ සුළු මතකයක් පමණි. පාසල් දිවියත් විවාහයත් අතර වූ අගනුවර ගතකළ 'බෝඩිං' ජීවිතයේදී නම්, මා මගේ බොහෝ මිතුරන්ට වඩා වාසනා වන්ත වූයෙමි. ඒ වසර දොළහක පමණ වූ එම කාලය 'බෝඩිං' හතරකට පමණක් සීමාකර ගැනීමට හැකි වූ බැවිණි.

මගේ ජීවිත ගමනේ දී ඉතාම කෙටිකලක් ඇසුරු කළ සමීපතම ඥාතියා ආතා ය. ආතා මගේ මවගේ පියාය. ආතා සහ ලොකු අම්මා වාසය කළේ අප සමගය. ගම් ප්‍රදේශයෙන් බැහැරව වුවද  තම එකම දියණිය සමග විසීමට ඔවුන් කැමති වූවා වියහැක.

අප ලොකු අම්මා යනුවෙන් ඇමතුවේ මවගේ මෑණියන්ටය. ආච්චි, ආච්චි අම්මා හෝ අත්තම්මා යන ඇමතුම්වලින් බැහැරව, ඇය 'ලොකු අම්මා' ලෙස හැඳින්වීම ඇගේ පළමු මිණිපිරිය වූ අක්කාගේ සොයා ගැනීමකි. අප තිදෙනාට අමතරව මවගේ මව ලොකු අම්මා ලෙස සඳහන් කරණු මා අසා ඇත්තේ චන්ද්‍රානි ගුණවර්ධනගේ "චූටී මගෙ සුදු චූටී ........ ඔන්න අම්මා යන්න හදන්නේ ......." නම් ගීතයේ පමණි. අද, පරම්පරා දෙකකට පසුව අක්කාගේ මිණිපිරිය ඇය ඇමතීමට සොයාගෙන ඇති නාමය කොතැනින් සොයාගත්තාදැයි නොදනිමි. ඒ අම්මා යන්නෙහි  'ම' යන්න වෙනුවට 'ව' යන්න ආදේශකර සාදා ගත් 'අව්වා' යන අපූරු තර්කානුකූල යෙදුමකි.

පහත කෙළවර දැක්වෙන්නේ එකල මගේ සේයාරුවකි

ආතා පිළිබඳව මගේ මතකය සීමිතය. මිදුලේ කෝටුවකින්  රූපයක් ඇඳ "මට මතකයි මට මතකයි සීය අපේ තුම්..... මිදුල පුරා කෝටුවකින් ගෝනකු ඇඳ දුන්...." ගීතය ඉගැන්වූවා මතකය. එවකට සැත්තෑ වෙනි වියෙහි පමණ වූ ආතාගේ සිරුරේ හම  රැලිවැටී තිබුණි. ඔහුගේ ඔඩොක්කුවේ වාඩිවී  පිටි අල්ලේ සම අඟිලි තුඩු දෙකින් තදකර ඉහලට ඇදතබා අතහැරිය විට ටික වේලාවක් එය ඉහළට එසවී එලෙසම පවතිනු මට මතකය. ඒ මා ඉතා ආසාවෙන් කළ  ක්‍රීඩාවකි. දුවන පනින වයසක සිටි මුණුපුරු, එක තැනක නිහඬව  තබා ගන්නට ඕනෑ වූ විට ඔහු මෙම ක්‍රීඩාවට මා යොමුකරන්නට ඇත.

ආතා පිළිබඳව අවසන් මතකය නම් සුදු ඇඳුමින් සැරසී පෙට්ටියක නිදා සිටි ආතා වටා තාත්තාගේ පාසලේ සිසුන් පේළියකට ගිය අයුරුය. මරණය යනු කුමක්දැයි මා නොදැන සිටින්නට ඇත. අම්මා හෝ ලොකු අම්මා හඬාවැලපෙනු දුටු බවක්ද මට මතක නැත. භූමදානය ගැන මතකයක් නැත්තේ සමහරවිට කුඩා දරුවකු වූ  මා එදා සොහොන් බිම වෙත කැඳවාගෙන නොයන්නට ඇති බැවිණි. ආතාගේ අභාවය සිදුවී ඇත්තේ 1958 මැයි මාසයේදීය.

රටේ යම් පමණකින් ප්‍රසිද්ධියකට හෝ ඇගයීමකට හෝ ලක්වූ අප පවුලේ සාමාජිකයා බන්ධු මාමාය. ඒ අම්මාගේ පොඩි අයියාය.  නමින් සෝමබන්ධු නම් වූ ඔහු නල දමයන්ති-කරදිය සමයේ සිටම චිත්‍රසේන සහ අමරදේවයන් ගේ සමකාලීන කලාකරුවකි. ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකු ලෙස නමක් දිනා සිටි ඔහු 2008 වසරේදී අපහැර  ගියේය.බන්ධු මාමා තම අවසාන කාලයෙහි ඉටුකළ මහා කර්තව්‍යය වූයේ බෙල්ලන්විල පන්සලේ බිතුසිතුවම් කරණයයි.


වරක් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු තම පියා ගැන සඳහන් කළේ මෙසේය
"මගේ පියා 'බාස්' කෙනෙක්.
හැබැයි එදා බාස් කෙනෙක් කියන්නේ; අද දවසේ වාස්තුවිද්‍යාඥයෙක්, ප්‍රමාණ-සමීක්ෂකයෙක් සහ ඉංජිනේරුවෙක්  යන තිදෙනාගේම කර්යයන් ඉටු කළ, අත්තිවාරම් කැපීමේ සිට වහළ උළු සෙවිලිය දක්වා කම්කරුවන් සමග හරි හරියට ශ්‍රමය කැප කළ, මේසන්වැඩ, වඩුවැඩ මෙන්ම ලී කැටයම් කලාවද මැනවින් දත්, අන් අයගේ උපදෙස් නොලබා ගොඩනැගිල්ලක සැලසුමේ සිට අවසානය දක්වා තනිවම තීරණ ගැනීමේ දැනීමක් තිබුණු කෙනෙක්"

ඒ මා දැන නොසිටි මගේ ආතාය.

අම්මාගේ දෙවෙනි අයියා සුදු මාමාය. ඔහු වෘත්තියෙන්  ජ්‍යොතිෂ වේදියෙකි. මගේ හඳහන තල් කොලයක ලියා දී ඇත්තේ ද  සුදු මාමාය.  මරදාන නොරිස් පාරේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කුඩා කාමරයක තම කාර්යාලය  පවත්වාගෙන ගිය ඔහු එවකට රත්න පොත් ප්‍රකාශකයින් විසින් වාර්ශිකව ප්‍රකාශයට පත්කළ 'රත්න ග්‍රහ පලාඵල' නම් ජ්‍යොතිෂ පොතේ කතුවරයාය. අන් අයට වඩා සමේ පැහැපත් බවනිසා ඔහුව සුදු මාමා යනුවෙන් හඳුන්වන්නට ඇත.  නැන්දා ද පැහපත්ය. එබැවින් ඇය සුදු නැන්දා විය.  මුළු පවුලම සාපේක්ෂකව අන් අයට වඩා පැහැපත් වූයෙන් එම දරුවන් මට සුදු අයියා සහ සුදු නංගී විය.

අම්මාගේ පවුලේ වැඩිමලා ලොකු මාමාය ඔහු ට්‍රොලි බස් රථ රියදුරකු ලෙස සේවය කළේය.  අද බොහෝ දෙනෙකු 'ට්‍රොලි බස්' යන නම හෝ අසා ඇතිදැයි සැක සහිතය. 'ට්‍රොලි බස්' යනු ට්‍රෑම් කර් වලට පසුව කොළඹ නගරයට හඳුනවා දුන් පොදු ප්‍රවාහන සේවයකි. 'ට්‍රෑම් රථ' වල ජායාරූප ආදිය පැරණි  තොරතුරු ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි වල දැක ඇතත් ලංකාවේ 'ට්‍රොලි බස්' ගැන සඳහනක් නොමැති තරම්ය. කොළඹ නගර සභා සලකුණ සහිත තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ කොල පැහැ බස්රථ, 1960 දශකයේ මුල් භාගයේදී කොළඹ නගරයේ ධාවනය විය. 'ට්‍රොලි බස්'ද 'ට්‍රෑම් රථ' මෙන් විදුලි බලයෙන් ධාවනය වූ නමුත් 'ට්‍රෑම් රථ' වලට මෙන් යකඩ පීලි අවශ්‍ය නොවීය.  සාමාන්‍ය රබර් රෝද යොදා තිබූ අතර ඉහළින් අදින ලද රැහැන් ජාලයක් මගින් ගමන් මග දිගටම විදුලිය සපයා තිබිණි. බසයේ වහලයේ සිට රැහැන් දක්වා වූ බට දෙකක් මගින් බසයට විදුලි සබඳ තාවය සැපයිණි.


ඉහළ: ට්‍රෑම් කාර්       පහළ: ට්‍රොලි බස්



අහම්බෙන් හමුවුණා ලංකාවේ ට්‍රොලි බසයක පින්තුරයක්  (18.11.2015) 
සෞඛ්‍ය හේතූන් මත ලොකු මාමාට අඩු වයසින්ම රැකියාවෙන් ඉවත්වන්නට සිදුවිය. දරුවන් හය දෙනෙකුද සමග රැකියාව අහිමි වූ ලොකු මාමාට දුෂ්කර සමයකට මුහුණ දෙන්නට සිදුවූ බව මා අසා ඇත. පසුව විවිධ රැකියාවන්හි නියුතු වූ මාමා තීන්ත නිශ්පාදන  ආයතනයක රැකියාවකටද යොමු විය.  විදේශීය ආනයන අඩුකර දේශීය නිශ්පාදන දිරිගැන්වූ 1970 දශකයේ දී, තම අත්දැකීම් යොදාගත් මාමා තමාගේම තීන්ත නිශ්පාදන ව්‍යාපාරයක් පටන් ගත් අතර කෙටි කලකින් ම ව්‍යාපාරය දියුණුකර ගත්තේය. ව්‍යාපාරිකයකු ලෙස හොඳ ආර්ථික මට්ටමකට පැමිණි ඔහු තම දරුවන් සියළුදෙන සමාජයේ උසස් තැන්වලට යොමුකිරීමට සමත්විය.

අම්මාගේ නැගනිය මේරි පුංචි අම්මාය. ඇය ආතා සහ ලොකු අම්මා ගේ ම දරුවෙකු නොවූ නමුත් පවුලේම දියණියක වූවාය. දරුවන් වැඩි, ආර්ථික අපහසු තාවයන් සහිත,  ඥාති පවුල්වල හෝ මා පියන් වියෝ වූ ඥාති පවුල්වල දරුවන් තම බාරයට ගෙන තම දරුවන් ලෙස රැකබලාගැනීම එකල සමාජයේ සාමාන්‍ය සිරිතකි. අම්මා සමග එක් කුස  උපන් සොයුරියක මෙන් හැදී වැඩී ආතා සහ ලොකු අම්මා ගේ ආශීර්වාදය  යටතේ  විවාහ වූ ඇය නීලම්මහර පදිංචිව සිටියාය.

තම සැමියාගේ අභාවයෙන් පසුව ද වසර 25 පමණ ජීවත්වීමේ වාසනාව හෝ අවාසනාව ලැබූ ලොකුඅම්මා, ළමා කල මගේ දිවියට බෙහෙවින්ම බලපෑ චරිතයකි. පසොළොස්වක  සහ අටවක යන දෙපෝයටම සිල්ගත් ඇය සැදැහැති උපාසිකාවක් වූවාය. අද මෙන් පැය විසිහතර පුරා විවිධ ස්වරයෙන් දහම දෙසන රූපවාහිනී සහ FM නාලිකා දුසිමක් හමාරක් එදා නොවීය. ගුවන්විදුලි ස්වදේශීය සේවයේ ඉරු දින සහ බදාදා දිනවල ධර්මදේශනා විය. තවත් දිනෙක වූ 'දම් සභා මණ්ඩපය' දහම් ගැටළු විසඳා දෙන සාකච්ඡාවකි. දිනපතා උදෑසන පන්සිල් සෙත් පිරිත් සහ දම්මචින්තා විය. අප නිවසේ මෙම වැඩසටහන් මග හැරුණේ කලාතුරකිනි. උස් අසුනක සිට ධර්ම දේශනාවන්ට සවන් නොදුන් ලොකුඅම්මා සෑම විටම පැදුරක් හෝ කුඩා බංකුවක් ඒ සඳහා යොදාගත්තාය. අපිදු පැදුරේ වාඩිවී ගුවන්විදුලි ධර්මදේශනා වන්ට සවන්දීමට හුරු වූයෙමු.

අම්මා ගුරු ඇබසි විදුහලේ නේවාසික පුහුණුව ලැබූ වසර දෙක, (1962-1963) අක්කා අයියා සහ මා තණිවම රැකබලා ගත්තේ ලොකුඅම්මාය. එවකට තාත්තා ඈත හිරියාල ප්‍රදේශයේ පාසලක සේවය කළේය. අක්කා සහ අයියා තම කටයුතු තනිවම කරගත හැකි වයසක සිටියද, අවුරුදු අටක් නවයක් පමණ වූ, කියන දේ නොඅසන දඟකාරයකු වූ මා නිසා ඇය සෑහෙන පීඩනයකට ලක්වන්නට ඇත.

මේ කාලයේදී නිතරම වූ තවත් සිදුවීමක් මා සිතට නැගේ. එකල අද මෙන් රාත්‍රී නිදන්න පෙර දත් මැදීම අනිවාර්ය දෙයක් නොවීය.  දත් මැදීම කළේ දිනකට එක්වරක් උදයට පමණි.  නමුත් නිදන්න පෙර   දෙපා සේදීම කළයුතුම කටයුත්තකි. දුව පැන  සෙල්ලම් කර මහන්සිවන මම රාත්‍රී ආහාරයෙන් පසුව මෙම චාරිත්‍රය ඉටු නොකොට ම ඇඳට යමි. තම වැඩකටයුතු අවසන්කර නිදන්න සූදානම් වන අක්කා හෝ අයියා දෙපා සෝදා ගන්නා ලෙස මා අවදි කරන්න උත්සාහ ගත්තද මා  තද නින්දේ පසුවන බව බොරුවට හඟවමි. එවිට ඇඳ ළඟටම වතුර බේසමක් ගෙනැවිත් නින්දේදී ම මා  දෙපා සෝදා පිසදා යලි නිදිකරවන්නට තරම් අක්කාත් අයියාත්  තම මලනුවන් කෙරෙහි දයාබරිත වූ බව අද සිහිකරද්දී දෙනෙත තෙත්වණු වලක්වාගත නොහැක. මන්ද,  එකළ ඔවුන් දෙදෙනාද ළමා වයසේ පසුවූ අතර නිරතුරුව මා වෙතින් වූ හිරිහැර  ඉවසා දරාගත් බවද  සිහිවන බැවිණි.
එවන් සොයුරියක ලද්දේ නිවුණේ වෙයි !
එවන් සොහොයුරකු ලද්දේ නිවුණේ වෙයි !
අයියා සහ අක්කා ගැන ලිවීමට බොහෝ දේ ඇත. ඉඩ ලද විටෙක ඉදිරියේදී ලියමි.

එකල අප සිටියේ පන්නිපිටියේය. ඒ මා උපන් ගමයි. අම්මා උපන් ගමයි. ලොකුඅම්මාගේද උපන් ගමයි. අවට නිවෙස්වල කිට්ටු ඥාතීන් සිටි බැවින් අපට අනාරක්ෂිත බවක් නොදැනුණි. බොරලැස්ගමුව ගුරු ඇබසි විදුහලේ නේවාසිකව සිටි අම්මා  නිවසට පමිණියේ සති අන්තයේදී පමණි.

අගනුවර ආසන්නයේ වුවද පන්නිපිටියේ වූයේ ගැමි පරිසරයකි. වර්තමානයේ වේගයෙන් නාගරීකරණය වන මහරගම, කොට්ටාව සහ දෙපානම අතර පිහිටි පන්නිපිටියේ, අද වසර පනහකට පසුත්  ලොකු වෙනසක් පෙනෙන්නට නැත. පැහැදිලි වෙනසකට ඇත්තේ හයිලෙවල් පාරේ සිට පරණ පාරට සහ දුම්රිය පොළට උඩින් ඉදිකර ඇති ගුවන් පාළමයි. එදා පුංචි කෝච්චි ධාවනය වූ දුම්රිය පාර ලොකු කෝච්චි සඳහා පුළුල් කොට ඇත.

අක්කා සහ අයියා ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලද අතර වසර දෙකක කෙටි කාලයකට පමණක් ගමට පැමිණි මා ගියේ කොට්ටාව ආනන්ද විදුහලටය. එකල ආනන්ද විදුහලේ විදුහල්පති තුමා ඩී.එස්. රණසිංහ මහතාය. හිටපු අගමැති විජයානන්ද දහනායක මහතාට  සමාන  හැඩ රුව ඇති එතුමා, පැහැපත් උස සිරුරකින් යුක්ත විය. සුදු ජාතික ඇඳුමේ අත යට වේවැල සඟවාගෙන පාසල පුරා සැරි සරයි. ආනන්දයේ අපූරු විනය නීතියක් විය. එනම් විවේක කාලයේදී සෙමෙන් ඇවිදිනු විනා දිවීමට තහනම් බවයි. දිවීමට අවසර තිබුණේ ක්‍රීඩාපිටියේ දී පමණි. වරක් මෙම විනය නීතිය කඩ කිරීමේ වරදට හසුව මා එතුමාගේ වේවැල් පහරකට ලක්වූවා මතකය.

3,4 පන්ති වල ඉගෙනුම ලැබූ සම වයස් මිතුරන් කිහිප දෙනෙකු සමග පන්නිපිටියේ සිට කොට්ටාවට පාසල් ගිය කාලය අදත් ආදරයෙන් සිහිකළ හැකි සමයකි. බාගේ ටිකට් එකක් සඳහා බස් ගාස්තුව ශත තුනකි. උදයේ බසයෙන් පාසල් යන අප, පාසල අවසන ආපසු එන්නේ කතා බස් එකෙනි. ආපසු බස් ගාස්තුව හූණු බිත්තර, නාරං බික්, වෙරළු හෝ ඇම්බරැල්ලා අච්චාරු වැනි  කඩචෝරු සඳහා වියදම් කළෙමු. සැතපුමක් හෝ දෙකක් වූ මග දෙපස නිවෙස් කීපයකම පින්තාලි වූවා මතකය. එවන් තැනක නතරවූ විට මුට්ටියේ වූ වතුර අවසන් වන තුරු මාරුවෙන් මාරුවට පානය කළෙමු. ඒ අතර තුර වැඩිහිටියෙක් අපට ජම්බු හෝ උගුරැස්ස වැනි පළතුරු අහුරක් පිරිනමයි. අතර මග ලොවි, අඹ, ජැම්සන් වැනි පළතුරු වූ නිවෙස් අපි හොඳින් දැන සිටියෙමු. හොරෙන් කඩාගෙන කෑමට අප යොමු නොවුණේ ඉල්ලූ විට ඒවා ලැබෙන බව හොඳින්ම දත් බැවිණි.

"රබර් වත්තේ අහිකුණ්ඨික කට්ටිය ඉන්නවා අද කෝච්චි පාරේ යමු ද?"

ඒ එකෙකුගේ යෝජනාවකි. දිනකට දුම්රිය කීපයක් පමණක් ධාවනය වූ  කැළණි වැලි දුම්රිය මග දෙපස පාළුය. සිල්පර කොට මත අඩි තබමින් ඒවා ගණන් කරමින් ගමන් කිරීම සතුටකි.  හදිසියේ දුම්රියක් පැමිණෙන්නේ නම් රේල් පීල්ල මත ඇණයක් තබා, ඒ මතින් දුම්රිය ගියපසු පිහි තලයක් සේ තැලුන ඇණය සෙවීම තවත් ක්‍රීඩාවකි. දුම්රිය බොහෝ දුර යන තුරුත් ඇසෙන ශබ්ධය අපි පීල්ලට කණ තබා අසාගෙන සිටියෙමු. අප අතර සිටි, එකෙකු සතයේ කාසියක් පීල්ල මත තබා තැලෙන ආකාරය බැලීමට පවා ඉදිරිපත් වූ අවස්ථාද විය. එකල සතය ලොකු මුදලකි.  වරක් ලොකු ගලක් පීල්ල මත තබා සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කීරීමට සූදානම් වූ නමුත්, "කෝච්චිය පීලි පන්නන්නට හදනවාදැ?"යි අපට තරවටුකර එය ඉවතට විසිකළ වැඩි හිටියකු නිසා එම අත් හදා බැලීම කිරීමට අපි පැකිළුණෙමු.

අහිකුණ්ඨික ප්‍රජාව කෙරෙහි යම් බියක් වූ බැවින් අපි දුරින් සිට ඔවුන්ගේ කුඩා තල්අතු කූඩාරම් දෙස බලා සිටියෙමු. කූඩාරම් අවට ගැටගසා සිටි බූරුවන් නිතර දක්නට නොලැබෙන සතුන් කොටසකි. තැනෙක කෝටුවකින් තලමින් රිලවෙකු පුහුණු කරවන අයෙකුද දැකිය හැක. නිදැල්ලේ හැසිරෙන නයෙක් කොයි මොහොතේ හෝ තණකොල අතරින් මතුවේ යැයි අපි විමසිලිමත් වීමු. මෙවන් දිනෙක වේලාව පිළිබඳ මතකය ගිලිහෙන බැවින් පන්නිපිටියට එනවිට බොහෝ සවස් වේ. මෙලෙස පමාවණ දිනක කෝටුවක් අතින් ගත් වැඩිහිටියෙක් අප පිළිගැනීමට හන්දියට පැමිණ සිටී.

පොහෝ දිනවල ලොකු අම්මා සමග සුදු පිරුවට හැඳ  සිල්රෙදි පොරොවාගෙන අළුයම අඳුරේම මොරකැටියේ පරම ධම්ම විහාරය වෙත ගොස් අටසිල් සමාදන් වීමු. අප කණ්ඩායමේ යහළුවන් ද තම වැඩිහිටියන් සමග සිල්ගැනීමට පැමිණි බැවින්, ඒ සඳහා මා සහභාගි වූයේ ඉතා කැමැත්තෙණි. දෙනෙත් පියා භාවනාවේ යෙදෙන මොහොතක වැඩිහිටියෙකු අපහසුවන් පිටකරන කිවිසුමක් හෝ අධෝවාතයක් අපගේ තැන්පත්බව හෝ හික්මීම බිඳ දමයි. අප සිනහව නවතා ගන්නට උත්සාහ කළත් උත්සාහය පරදා  සිනහව පිටවේ. භාවනා වැඩ සටහන අවසානයේ "පොත් මහත්තයා" නමින් අප හැඳින්වූ ප්‍රධාන උපාසක මහතා අප කැඳවා අවවාද කරයි. බණ කතාවක්ද කියා දෙයි. සවස හයට සිල් පවාරණය කර, මා අක්කලා සමග නිවසට පැමිණි අතර ලොකු අම්මා  රාත්‍රිය පන්සලේ  ගතකර නිවසට එන්නේ පසුදා උදයේය.

ඇරැව්වල, නීලම්මහර වැනි අසල ගම්වල සිටි ඥාතීන් මුණගැසීමට යන බොහෝ ගමන් වලදී  ඇගේ ආරකෂාවටයි කියා ලොකුඅම්මා මා කැඳවාගෙන ගියාය. සැබෑ හේතුව නම් මා නිවසේ නවතා ගියහොත් අයියාටත් අක්කාටත් මගෙන් සිදුවන හිරිහැර අවම කරගැනීමය.
සැතපුම් හතරක් පහක් ගුරුපාර ඔස්සේ හා කුඹුරුයාය හරහා නියර මතින් පයින් යාම එකල වෙහෙස ගෙනදෙන කටයුත්තක් යැයි අපි නොසැළකුවෙමු. පොදු ප්‍රවාහන සේවා තිබුණේ ප්‍රධාන මාර්ගවල පමණි.

දුර ගමනක් යද්දී ඔසරියකින් සැරසෙන ලොකුඅම්මා මෙවැනි ගමනකට අඳින්නේ වැලමිට ළඟට අත් ඇති රේන්ද ඇල්ලූ සුදු හැට්ටය සමග චීත්තයකි. පළමුව සාමාන්‍ය චීත්තයකින් සැරසෙන ඈ එයට උඩින් වටිනා චීත්තයක් අඳී. 'ටූටාල්' නමින් හැඳින්වූ එවකට ජනප්‍රියව පැවති ලස්සන චීත්ත කිහිපයක් ඈ සතුවූවාය. සුදු සහ කළු කුඩා අශ්වකරත්ත සිතුවම් සහිත කොල පැහැති 'ටූටාල්' චීත්තයක් ඈ ඉතා  ආසාවෙන්  ඇන්දා මට මතකය. මෙ වර සිංහල අවුරුද්දට අක්කා බැහැ දකින්නට ගිය අවස්ථාවේ මම මෙම 'ටූටාල්' චිත්තය ගැන මතක් කළෙමි. "ආ ... මාමා.... ඒක තවමත් මා ළඟ  තියෙනවා"  යයි කී, අක්කාගේ දියණිය ආරක්ෂිතව තබාගෙන සිටි එම  චීත්තය ගෙනැවිත් මට පෙන්වූවාය. සිසවස් බාගයකටත් එහා මා විඳි ලොකුඅම්මාගේ  සුවඳ ක්ෂණිකව මට දැණිනි.  පැහැයේ අඩුවීමකින් හෝ වැරිහැල් වීමකින් තොරව එය අදත් හොඳ තත්වයෙන් ඇත.


ඉහළ : ලොකු අම්මා තම දියණිය සහ දෙමිණිපිරියන් සමග (1982දී පමණ ගත් ඡායාරූපයකි.) පහළ ඡායාරූපයේ තම මී මී මිත්තණිය වසර 65කට පෙර ඇඳි ටූටාල් චීත්තයෙන් සැරසී සිටන්නේ  අක්කාගේ මිණිපිරියයි.


වරක් මහ අව්වේ නියර මතින් යද්දී ලොකුඅම්මා තම කුඩය හකුලාගෙන හිරු රැසින් දැවෙමින් ගමන්කළාය. කුඩය දිග හරින්නයයි මා ඇගෙන් ඉල්ලා සිටියෙමි.

 "අර ලියදි වල මිනිස්සු අව්වේ වැඩකරද්දී අප කුඩ ඉහළාගෙන සෙවනේ යන්න හොඳ නැහැ". මානව දයාව පිළිබඳව ජීවිතයේ එක් වටිනා පාඩමක් එදා ඈ මට කියා දුන්ණාය.

ලොකුඅම්මා ගෙන් කතන්දර ඇසීමට මහත් සේ ප්‍රිය කළෙමි. බණ කතා රජ කතා, ගැමිකතා බොහෝමයක් ඇය දැනසිටියාය. වරක් මා කතන්දරයක් කියන්නයයි කරදර කළ විට ඇය මෙම කතාව කීවාය.

නරි දෙන්නාගේ කතාව

එක කැලයක නරි දෙන්නෙක් හිටියා.  මේ නරි දෙන්නා දවසක් කම්මැලිකමින් ඉන්නා විට එක නරියෙක් අහනවා;

"යාළුවේ යාළුවේ අපි දෙන්නා රණ්ඩු වෙමුද?" කියලා.

එතකොට දෙවෙනි නරියා අහනවා
"මොකටද අපි රණ්ඩු වෙන්නේ? ඇරත්, අපිට රණ්ඩු වෙන්න හේතුවක් නැහැනේ."

පළමු නරියා කියනවා
"අයියෝ.... හේතුවක් හදාගන්න එක සුළු දෙයක්නේ.
  මම කියන්නම් 'මේ ගල්කැටය මගේ' කියලා.
  ඔයා කියන්න 'නැහැ... නැහැ....ඒක ඔයාගෙ නෙවේ මගේ' කියල.      දෙතුන් වරක් එහෙම කියාගෙන අපි දෙන්නා ගල්කැටයට රණ්ඩු වෙමු."

ඉතින් පළවෙනි නරියා ගල්කැටය පෙන්වලා කීවා ;
"මේ ගල්කැටය මගේ" කියලා.
දෙවන නරියා ටිකක්වෙලා කල්පනා කරනවා... කල්පනා කරලා කියනවා;
"නුඹේ නම් නුඹ තියාගනින්... මට ඕනැ නැහැ" කියලා.

ලොකුඅම්මා කතන්දරය අවසන් කළාය.
"ඉතින් ඊට පස්සේ මොකද උණේ?" මම ඇසුවෙමි.
"එච්චරයි, අර නරියට රණ්ඩුවෙන්න බැරිවුණා"

"ඒ මොන කතාවක්දැ"යි මට සිතුණි. මගේ කරදරයෙන් බේරෙන්න ඈ බොරුවක් ගොතා කීවා වියයුතුය.

එම කතාවේ වටිනාකම, ආදර්ශය මට වැටහුණේ බොහෝ කලකට පසුවය. අප බොහෝ විට ගැටුම් ඇතිකර ගන්නේ කිසිම වටිනාකමක් නොමැති දේ අයිතිකර ගැනීම සඳහාය. මත ගැටුමකදී වුව ද, තම මතය දිනවීම සඳහා අප මොන තරම් වෙහෙසෙමු ද? සිතේ නිදහස සැහැල්ලු බව නැතිකර ගනිමු ද? වැඩිහිටි වියේදී, රාජකාරී කටයුතු වලදී පවා ගැටුම් වලින් දුරස්වන්නට, මෙම කතාව මට බොහෝ සේ  ප්‍රයෝජනවත් වීය.

මෙම කතාවේ මුල් කතාව පංච තන්ත්‍රයෙන් හෝ ඊසොප්ගේ උපමා කතා වක් විය හැකි යයි සිතා මෑතකදී මා එය සොයන්නට  උත්සාහ කළ නමුත් සාර්ථක නොවුණි.

සුදු අයියා මට වඩා වසරකින් වැඩිමහල්ය. වසරක් පාසා සිංහල අවුරුද්දට හෝ වෙනත් අවස්ථාවක අප ඥාතීන් මුණ ගැසුණු අවස්ථා වලදී, අප දෙදෙනා ලජ්ජාවට පත් කරමින් නැන්දලා මාමලා නිරතුරුවම මතක් කරමින් සිනහ වූ එක් සිද්ධියක් ඇත. ඒ පිළිබඳව කිසිම මතකයක් නොමැති නමුත්, අප දෙදනා තරුණ වියට පත්වන තුරුත්  නිතිපතා ඇසීමෙන් එය සැබෑවටම සිදු වූ සිදුවීමක්  ලෙස දැණේ. අවුරුදු 3-4 පමණ වයසේදි, සිංහල අවුරුද්දට ආතා සහ ලොකු අම්මා බැහැ දකින්නට මාමලා පැමිණි දිනක, අප දෙදෙනා පොල්කටු කැබැල්ලක් ඉල්ලා රණ්ඩුවීම පිළිබඳව වූ සිදුවීමකි. හොඳ පොල්කටු දෙකක් දෙදෙනාට දී ගැටුම නිරාකරණය කරන්නට සූදානම් වූ නමුත්, දෙදෙනම ඒවා ප්‍රතික්ෂේප කරමින්  එම පොල්කටු කබැල්ලම  අවශ්‍ය බවට හඬා වැලපුණාලු. පසු කලකදී නරි දෙන්නාගේ කතාව සමග එම සිදුවීමේ ගැලපීම හොඳින්ම වැටහුණි.

පොල්කටු කැබැල්ල  පිළිබඳ රණ්ඩුව සිදුවී ඇත්තේ මා මුලින් සඳහන් කළ 'පොලීසිය ඉස්සරහා ගෙදර' දීය. එහිදී සිදුවූ එක්සිදුවීමක් පමණක් මගේ මතකයේ පැහැදිලව රැඳී ඇත. එකල පොලීසිය නිරතුරුව මිනිසුන් ගැවසෙන  ස්ථානයක්  නොවීය. අයියාත් මාත් විවේක අවස්ථා වලදී පාර පැන ඉදිරිපස පොලීසියට යාමට පුරුදුව සිටියෙමු. එක් හේතුවක් වන්නට ඇත්තේ  පොලීසියේ 'රාළහාමි අන්කල්ලා' වෙතින් අප ලද ආදර සංග්‍රහ විය හැක. එහි යන සැම විටෙකම ඔවුන්ගේ සුරතලයට ලකවූ අතර සීනිබෝලයක්, ලොසින්ජරයක් හෝ විස්කෝතුවක් වැනි යමක් වැරදුණේ නැත. බණ්ඩා රාළහාමි නම් පොලිස් නිළධරයා අපගේ විශේෂ හිතවතෙකු විය. සමහර විටෙක තුවක්කුවක කෑලි ගලවා අපට පෙන්වයි. තවත් විටෙක යකඩ කූරු සහිත පොලිස් රිමාන්ඩ් කූඩුව තුල සිටින සැකකරුවකු පෙන්වා වැරදි කරන අයට එලෙස දඬුවම්  ලැබෙන බවට අනතුරු අඟවයි. වරෙක දුරකතනය අප කණට තබා කතා කරනශබ්දය අසන්නට සලස්වයි.

මට හරියටම හේතුව මතක නැතත් දිනක් අප දෙදෙන රිමාන්ඩ් කූඩුව තුලට දමා යකඩ කූරු දොර වැසුවා මතකය.  මට වඩා සමාජ ය ගැන අවබෝධයක් තිබූ අයියා නම් එදා ඒ පිළිබඳව කලබල වන්නට ඇත.  නමුත් මා නම් කූඩුව ඇතුලේ සිට  පිටත සිට අප දෙස බලා සිනහසෙන  'රාළහාමි අන්කල්ලා' දෙස බලා ඒ අත්දැකීමත් විඳගත්තා පමණි. ඒ මා පොලිස් කූඩුවකට වැටුණු පළමු අවස්ථාවයි. දෙවන අවස්ථාව තවමත් උදාවී නොමැත. ඒ අවස්ථාව උදා නොවේවා යන්න මගේ එකම පැතුමයි.

අවුරුදු 86 ක් ආයු වැළඳූ ලොකු අම්මා මියගියේ 1983 අලුත් අවුරුදු උදාවත් සමගය. අක්කා සහ අයියා විවාහ වී වෙනම පදංචිව සිටියෝය. අම්මා විශ්‍රාම වයසටත් පෙර සේවයෙන් ඉවත් වී තම මව  රැක බලාගනිමින් සිටියාය. ආතා ගේ අවසන් කටයුතුවල ඡායාවක් පමණක් මතකයේ තිබූ මට ලොකු අම්මා ගේ අවසන් කටයුතුවලදී  තාත්තා සමග එක්ව මූලිකත්වය ගැනීමට සිදුවිය.

(අද 2015 වන විට මේ මාමලා නැන්දලා අතරින් අප අතර සිටින්නේ දිවි මගේ නව වන දශකයට ආසන්නව සිටින සුදු නැන්දා සහ මේරි පුංචි අම්මා පමණි.)





































You Might Also Like

0 comments