කඩ(නො)වුන පොරොන්දුව........

3/18/2022

 

CLOSEMATES........  from  6.6.66  to  22.2.22



           මේක ටිකක් පරණ කතාවක්. පරණ කියන්නේ වසර 55 කට විතර කලින් 1966 දී වූ සිදුවීමක්. අපි පාසලේ 6 ,7  ශ්‍රේණි වල හිටපු අවුරුදු 11, 12 තරම පොඩි කොල්ලෝ. අපි කියන්නේ කවුද කියල ඉදිරියට පැහැදිලි වේවි. අද වෙනකොට අපි අවුරුදු 66,68 තරම් නාකි සෙට් එකක්.  

            ඒ කාලේ අපේ පාසලේ Form I A, Form I B, Form I C  කියල 6 පන්ති තුනක් සහ Form II A, Form II B, Form II C  කියල 7 පන්ති තුනක් තිබුණා. Form I C  එකේ ඉන්නේ වෙනත් පාසල් වල පහේ පන්තිය දක්වා ඉගෙනගෙන අලුතින්ම ආව කණ්ඩායම. සමහර අය පහේ ශිෂත්වයත් කරලා. සමහර අය එහෙම එකක් අහලත් නැහැ. ඒ කාලේ පහේ ශිෂත්වය අදට වඩා වෙනස්නේ. හැබැයි Form I එකට ඇතුලත් වෙන්න වෙනම විභාගයකට වැඩිවෙන්න සිදුවුණා. Form I A, I B වල හිටියේ බාලාංශ පන්තියේ ඉඳන් පාසලේම හිටපු කට්ටිය. Form II වලදී සමහරවිට  අර I C එකේ හිටපු දක්ෂ අයට අවස්ථාවක් ලැබෙනවා II A, II B වලට යන්න.  I C පන්තියට අලුතින්ම ආව වැඩි දෙනෙක් නැවතිලා හිටියේ පාසලේ කණිෂ්ට නේවාසිකාගාරයේ... එහෙමත් නැතිනම් Junior Hostel එකේ.

Kids 1967

            1966 දී අපේ පන්ති වල ගණිතය උගන්වපු තරුණ ගුරුතුමෙක් හිටිය. ඒ තමයි මොහොට්ටාල සර්. එතුමා තමයි මේ කතාවේ කතානායක වෙන්න ඕනේ.

            හැම විෂයකටම එදිනට අදාල වැඩ පටන් ගන්න කලින් අභ්‍යාස පොතේ වම් ඇත පැත්තේ ඉහලින්ම දිනය ලියන එක සම්ප්‍රදායක්...., පුරුද්දක්...., නීතියක්.......!  කළු ලෑල්ලේ වම් අත පැත්තේ උඩින්ම දිනය ලියන එක මොනිටර් නොහොත් පංති නායකයාගේ වගකීමක්. අවුරුද්දේ මුල් ඉලක්කම් දෙක ලිවේ නැහැ. තනි ඉලක්කමට මුලින් බින්දු දැම්මෙත් නැහැ. 21.4.66 වගේ ඉංග්‍රීසි ක්‍රමයට තමයි දිනය ලකුණු කළේ. (1970 ගණන් වල පටන් ගත්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටත් මුල් ඉලක්කම් දෙකේ වටිනාකම මතක් උනේ 21 වෙනි ශතවර්ෂයටත් ආවට පස්සේ නේ......)

            ඉතින් එදා අපේ පංති නායකයා පුටුවට නැගලා දිනය ලීව. 6.6.66. එක හරි අමුතු දිනයක්නේ...! ඔක්කොම 6 ඉලක්කම්..... කොල්ලන්ට හරි ජොලි. තමන්ගේ අලුත්ම සොයා ගැනීම ගැන...... මුලින්ම පන්තියට ආවේ මොහොට්ටාල සර්. එකා පරයා එකා කතාකරනවා....

            “සර්...සර්.... අද දිනේ.... !”.

            සර් ඒක කලින්ම දැනගෙන ඉඳලා.... සමහර විට ගුරු කාමරයේදීත් කතා වෙන්න ඇති. ගණිතය පාඩමට කලින් සර් ඒ ගැන පැහැදිලි කරන්න පටන් ගත්ත.

            “ඔව් දරුවනේ මේ වගේ දිනයක් සෑම අවුරුදු එකොලහකට සැරයක්ම එනවා.......1955 අවුරුද්දේ තිබුණා  5.5.55.  ඔයාලා පොඩි දරුවෝ නේ....... සමහර අය ඉපදිලත් නැතිව ඇති. ඉස්සරහටත් එනවා 7.7.77, 8.8.88 වගේ දින.....”

            හැබෑ නේන්නම් අපිට හිතුනේවත් නැහැනේ.....!

            “තව අවුරුදු 11කින්  7.7.77 දිනය එනවානේ...... එදාට ඔයාල කොහෙද ඉන්නේ......?

            අපි...?????  අපි ඇත්තටම කොහේ ඉඳියිද? තව අවුරුදු 11 කින් අපි ඉස්කෝලෙත් නැහැනේ...

            “ ඔව් ඔයාල එතකොට අවුරුදු විසි ගණන් වල හොඳ ඉලන්දාරි. සමහර අය විශ්ව විද්‍යාලේ ඉඳීවි.. තවත් අය රැකියා වල ඉඳීවි... සමහර අය කසාද බැඳලා දරුවොත් ඉඳීවි....”

            කසාද බැඳලා ...? දරුවෝ......?? අපිට ලැජ්ජත් හිතුණා..... කොහොමටත් අපේ පාසල පිරිමි පාසලක් නිසා එතරම් ප්‍රශ්නයක් වුනේ නැහැ....

            මම ඔයාලට පොඩි අදහසක් දෙන්නද...?” “ඔයාලා කොහේ හිටියත් 7.7.77 වෙනි දවසේ උදේ 7 ට ඉස්කෝලෙට එන්න.....! කොච්චර වටිනවද පරණ යාලුවෝ ආයෙත් ඉස්කෝලෙදි මුණ ගැහුණම...... හැමෝටම එන්න බැරිවේවි ... ටික දෙනෙක් හරි එදාට එකතු වුනොත් ..... 6.6.66 දවසේ අපි මේ කතාකරන දේ මතක් වේවි.”

            කතා දෙකක් නැහැ එදා අපි හැමෝම තීරණය කරගත්තා කොහේ හිටියත්, මොන රස්සාවක් කලත් 7.7.77 උදේ 7 වෙන කොට පාසලේදී මුණගැහෙන්න. මේකයි මේ කතාවේ ආරම්භය.....

 

            ඉතින් අපි කට්ටිය පාසලේ සමකාලීනයෝ..... 8 පන්තියට එනකොට Form III කතාවක් නැහැ.... ඊරියගොල්ල මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් 1 කේ සිට 12 දක්වා ඔක්කොම ශ්‍රේණි වෙලා..... 8 ශ්‍රේණිය. 9, 10 සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති වලත් අපි එකට හිටිය.... ක්‍රීඩා පිටියේදී, ක්‍රීඩා කණ්ඩායම් වල, සාහිත්‍ය සමිති සමාගම් වලදී , සංගීත, නාට්‍ය වගේ කලා කටයුතු, බාලදක්ෂ, ශිෂ්‍ය භට, තුර්ය වාදක වගේ සාමුහික ක්‍රියා කාරකම් වලදී, අධ්‍යාපනික ප්‍රදර්ශන වගේ ඒවායේදී, නිවාසාන්තර ක්‍රීඩා තරඟ වලදී  අපි කට්ටිය එකට තරඟ කළා. ..... රණ්ඩුවේවි....! යාලු වෙවි.....!! කට්ට්ටිය එකතු වෙලා කළ දඩබ්බර වැඩ අනන්තයි..... වැරැද්ද කළ පුද්ගලයාව පවා දෙන්නේ නැතිව මුළු පන්තියම වේවැල් පාර කාලා තියනවා.... උසස් පෙළ පන්තිවලදී පාසලේ වැඩ වලදී මුලිකත්වය ගත්තෙත් අපිම තමයි. ශිෂ්‍ය නායක මණ්ඩලයේ හිටියෙත් අපි අපිම තමයි..... නිවාසාන්තර විවාද තරඟ වලදී දෙපැත්තට වෙලා විවාද කරපු අපි අන්තර් පාඨශාලිය විවාද වලදී එක පැත්තට කතා කළා......




             සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග වලදීත් අපි අපේ හැකියාවන්ට අනුව ප්‍රතිඵල ලබල කොටසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වුණා. වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කලා, නීති ආදී විවිධ ක්ෂේත්‍ර තුලින්. ක්‍රීඩා, ශිෂ්‍ය භට අංශ වල පෙරනුනේ හිටපු කිහිප දෙනෙක් ම හමුදා සේවයට එක් වුණා.... කෙනෙක් තමන්ගේ දෙමාපියන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වුණා. අනෙක් අය තම තමන්ට උරුමව තිබූ මාර්ග ඔස්සේ රජයේ හෝ පෞද්ගලික අංශයේ සහ බැංකු ආදී විවිධ රැකියා වලට යොමු වුණා. තවත් අය තම දෙමාපියන්ගේ වතුපිටි ගොවිතැන් බලාකියාගෙන සරළ ජිවිත ගතකළා.

       


            ඉතින් ඔය කාලයේදී අපි 7.7.77 ගැන සැලසුම් හැදුවද....?

            මොන පිස්සුද.........?      6.6.66 න් පස්සේ එහෙම දෙයක් මතකයේ වත් තිබුනේ නැහැ......


            1974-76 අවුරුදු වෙනකොට අපි හැමෝගේම පාසල් ජීවිතය අවසන්වෙලා ...... ආදි ශිෂ්‍යයෝ බවට පත් වෙලා.....  අපි අපේ ජීවන ගමන තනි තනිවම දුවන්න පටන අරගෙන.....

            7.7.77 අපි හැමෝම තම තමන් හිටපු තැන් වලම ගෙවිල ගියා........... සරසවි ශිෂ්‍යයෝ, තරුණ වෘතිකයෝ, තරුණ නිළධාරීන් හැටියට....... 8.8.88 එතකොට අපේ ජිවිත තවත් වෙනස් වෙලා.... විවාහකයෝ බවට පත්වෙලා..... දරු-පවුල් රැක ගන්න....... රැකියාවේ ඉහලට යන්න...... උසස් අධ්‍යාපන කටයුතු, විදෙස් රටවල පදිංචියට යන සැලසුම්, ......... ආදී කටයුතු වලට අපේ කාලය ගතවෙනවා.......

            ඔය අතරේ අපි දුරස්ථ වෙලාම හිටියේ නැහැ...... අපි විටින් විට මුණගැසුන..... විශේෂයෙන්ම පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ සංවත්සර සභා දිනවලදී අපි බොහෝ දෙනෙක් එකතුවුණා......

            9.9.99 දී අවුරුදු 45 ක විතර මැදිවියේ වෘතිකයෝ...... දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ......... දෙමාපියන් රැකබලා ගැනීම ආදි කටයුතු අපේ ප්‍රමුඛතා..... .........

            2011 දී මේ වගේ සුවිශේෂී දින හතරක්ම ආව.........ජනවාරි 1, ජනවාරි 11, නොවැම්බර් 1 සහ නොවැම්බර් 11 හැටියට ....1.1.11, 11.1.11,       1.11.11,      11.11.11.   එක අවුරුද්දට දින කිහිපයක්ම ආවහම  ඒකෙත් එච්චර වටිනාකමක් දැනෙන්නේ නැහැ...... මුල් කාලයේ ඉඳලම සමීප සබඳතාවයන් තියාගෙන හිටපු අය හිටියනේ.... ‘සකර්බර්ග් උන්නැහේ’ ඒ කුඩා ජාලයන් එකතු කරලා වඩා විශාල කණ්ඩායමක් බවට පත් කරන්න පටන් අරගෙන අන්තර්ජාලයේ facebook හරහා..... හරි සතුටුයි අවුරුදු 40 කට විතර පස්සේ පාසලේ එකම පන්තියේ එකට හිටපු කෙනෙක් ලෝකේ අනෙක් කෙරවලේ රටක ඉහල තනතුරක් දරනවා කියල දැනගත්තම.... ඒකා “හලෝ මචං...” කියල පණිවිඩයක් එව්වහම......

            මේ කාලේ වෙනකොට අපේ කට්ටිය තම තමන්ගේ වෘත්තීය ජිවිත වල ඉහලටම ගිහිල්ලා......අවුරුදු 55 ක විතර වයසක්නේ..... සමහර අය විවිධ රටවල ඉහළම තනතුරු වල වගකීම දරනවා.... විශ්ව විද්‍යාල මහාචාර්ය වරු, තානාපති වරු......., අධිකරණ නීතිඥ, විනිසුරු වරු.... සිවිල් යුධ සමයේ හමුදාවේ ඉහලම තනතුරු දරන අය පාසලේ සමකාලිනයෝ කියල අපි කීවේ හරිම ආඩම්බරයෙන් ..... 

            සමහර සුපිරි පාසල් වල වගේ ‘මහා ක්‍රිකට් තරඟ’, ‘මහා රගර් තරඟ’ වලදී පාසල් මිතුරන් වාර්ෂිකව හමුවන පුරුද්දක් අපට තිබුනේ නැහැ......  ආදී ශිෂ්‍ය සංගමයේ වාර්ෂික හමුව තමයි අපට ඒ සඳහා ලැබුණු හොඳම අවස්ථාව..... ඒ හමුවීම් බොහෝවිට එදිනට පමණක් සිමා වුණා...... ලඟින්ම ආශ්‍රය කළ තුන් හතර දෙනාගේ කණ්ඩායම්....... ඒ කියන්නේ එකම වෘතිය ක්‍ෂේත්‍රයක කටයුතු කළ අය..... එහෙම නැතිනම් පවුල් අතර ඥාති සම්බන්දකම් තිබුණු අය ඉඳහිට හමු වුණා..... මේ කාලය වනවිට facebook හරහා පරණ යාලුවෝ ඉඳහිට මතුවෙන්න ගත්ත...... අහම්බෙන් එහෙම පරණ මිතුරකු හමුවීම හරිම සුන්දර අත් දැකීමක් වුණා.... එකිනෙකා හරහා තව තවත් අය හමුවුණා...... ඊට පස්සේ අප නොදැනුවත්වම මුහුණු පොතින් WhatsApp එකට මාරුවී වඩා පහසුවෙන් හමුවුණා.......

 

               ඉතින් අපි ‘WhatsApp’ ජාලයේ ‘Close Mates’ (CM) නමින් කණ්ඩායමක් හදාගෙන බොහොම කිට්ටු සබඳතාවක් ගොඩනගා ගත්ත....... මේ හරහා තව තවත් අය එකතු වුණා..... මාසයකට සැරයක් වෙලාවක් යොදාගෙන අපි ‘Zoom’ හරහා මුණගැසී වල් පල් කතාකරන්න පටන් ගත්ත..... අපේ ගුරුතුමන්ලා ගුරු තුමියන්ලා සම්බන්ධ කරගත්ත..... දැනට විවිධ රටවල පදිංචි අපේ ජ්‍යෙෂ්ඨ සහෝදරවරු සම්බන්ධ කරගෙන පාසල් සමයේ රසවත් තොරතුරු ආවර්ජනය කළා. අප එකිනෙකාගේ විශේෂඥ ක්‍ෂේත්‍රයට අදාල මාතෘකාවක් අරගෙන දේශනයක් සහ සාකච්ඡාවක් කරන්න යොදා ගත්ත..... බොහොම හරවත්..... විනෝදමත් හමුවීම්...... කාටත් ගැලපෙන පහසු වෙලාවක් යොදා ගන්න එක තමා අමාරුම කාරිය වුණේ.... වෙලින්ටන් ඉඳලා ලොස් ඇන්ජලිස් දක්වා අපේ අය විසිරිලා...... එක්කෙනෙක් මහා රෑ 12ට විතර ‘Zoom’ එකට එකතු වෙන කොට තවත් කෙනෙක් පාන්දර 3.00 ට විතර අවදි වෙලා මේකට එකතු වෙන්න ඕනෑ....

               ඔය අතරේ මාස කිහිපයකට කලින් අදහසක් ආව නැවතත් අපි සැබවින්ම මුණගැසෙන්න ඕනෑ කියල..... එතකොට තමා කෙනෙක් මොහොට්ටාල සර් ගේ යෝජනාව මතක් කළේ..... 22.2.22 අපි මුණ ගැසෙමු කියල...... අදහස මතුවෙන කොට කවුරුත් සතුටු වුනාට ඒක පහසු කාරියක් නොවන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ..... 

                  ඒ වුනාට ඒ අදහස යථාර්තයක් කරගන්නා අපට පුළුවන් වුණා........

            22.2.22 ප.ව. 2 ට අපි අපේ පාසලේදී එකට එකතු වුණා...... සමහර අය පාසලෙන් ගියාට පස්සේ හමුවුණේ පළමු වතාවට..... ඒක අදහා ගන්න බැරි අත්දැකීමක් වුණා..... අපේ zoom meetings වලට නිතිපතා එකතුවන අපිව දිරිගන්වන වීරසේකර සර් ඒ ගමනට එක්වුණා.... විදෙස් රටවල ජිවත්වන අපේ සහෝදරයන් තිදෙනෙක් මේ අව්නිශ්චිත Covid තත්වය මෙන්ම රටේ ආර්ථික අර්බුදය මැදම මේ හමුව සඳහාම මව්බිමට පැමිණෙන්න කටයුතු යොදා ගත්ත.

Prefects Boards 1973& 1974
මෙතන ඉන්න බොහෝ දෙනෙක් පහළ පින්තුරයේ ඉන්නවා......

After 48 years 2022.02.22

           අපේ සංවිධාකයෝ අපිව පුදුමයට පත් කළේ මේ අදහස මුලින්ම දුන්න මොහොට්ටාල සර් එදා පාසලට කැඳවාගෙන ඇවිල්ල..... හිතා ගත්ත හැකිනේ අපේ වයස අවුරුදු 66-67ක් නම් එදා අපේ ගුරුවරුන්ගේ අද වයස? අවුරුදු 80 කට ආසන්න හෝ 80 පැනල.....  මේ හමුවීම මහා ලොකු උත්සවයක් නොවේ අපි පරණ යාළුවෝ කට්ටියක් යලිත් ඒ පැරණි මතකයන් සමග පාසලේදී නිදහසේ එකතුවීමක්..... හැබැයි හරිම සුන්දර අත්දැකීමක්...... (විදුහල්පති තුමාගේ අවසරය ඇතිව අපේම ආදීශිෂ්‍ය සොහොයුරෙක් වන වත්මන් නියෝජ්‍ය විදුහල්පතිතුමෙකුගේ මග පෙන්වීම යටතේ තමයි පාසල් භුමියේ අපි සැරිසැරුවේ......)


            මේ වගේ දෙයක් සංවිධානය කිරීම පහසු කටයුත්තක් නොවේ..... මේ වගේ කාලයකදී ඒ වගේ දෙයක් ගැන හිතන එකත් අභියෝගයක්...... දෙතුන් දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස නොබලා දර දිය ඇදීම තුලින් තමයි මේක සැබෑවක් වුණේ..... අදහන්න ඕනෑ පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා මේ අභියෝගයට කර දුන්න.... උන් දෙන්නව නමින් මතක් කරන්න ඕනෑ..... වසන්ත සහ ගාමිණී.  වසන්ත අපේ CM කණ්ඩායමේ Admin කෙනෙක්. නැතිනම් පරිපාලකයෙක්. ජාතික ප්‍රමිති ආයතනයේ ඉහළම තනතුරකින් විශ්‍රාම ගත් ‘ප්‍රමිතියට’ වැඩ කරන්න දන්නා, ‘ප්‍රමිතියට’ වැඩක් කරන, ‘ප්‍රමිතියට’ වැඩ කරන්න අනෙක් අයවත් පොළඹවන කෙනෙක්....  වසන්ත නැතිනම් ‘වස්සා’ තමයි මේ හමුවේ ප්‍රධාන සංවිධායක. ගාමිණී, අපි වැඩිපුර හඳුන්වන්නේ ස්වර්ණපාල නැතිනම් ‘ස්වර්ණ’ කියල; පාසල් සමයේ මෙන්ම පාසලෙන් සමුගත් දවසේ ඉඳලම පාසල වෙනුවෙන්ම කැපවුන ආදී ශිෂ්‍ය සංගමයේ බල කණුවක්. පහුගිය අවුරුදු 50 කාලේ පාසලේ මොකක්මේ හෝ සංවර්ධන කටයුත්තක් වෙලා තයෙනවා නම් එතැන 'ගාමිණී' ගේ දහදිය  බිඳක් හෝ තියෙනවා...... අපේ ගමනේ පාසල සමග සම්බන්ධීකරණය සහ කුරුණෑගල අවට සමකාලීනයන් සහ ආදී ගුරුතුමන්ලා සමග සුහද හමුවේ වගකීමට කර ගැසුවේ ගාමිණී.

            කාගේත් එකගතාවය මත ‘වස්සා’ සුදානම් කළ දින හතරක වැඩසටහන මෙහෙමයි.

  •  පෙබෙරවරී 22 උදේ අගනුවර අවට අය කොළඹින් පිටත් වනවා. අතරමගින් එකතු වන අයත් එක් කරගෙන කුරුණෑගලට එනවා.
  • 22.2.22 සවස 2 ට පාසලේ නේවාසිකාගාරය අසලින් හමුවෙලා පැරණි මතකයන් අලුත් කරගනිමින් පාසල පුර ඇවිදිනවා.
  • කොළඹින් පැමිණි කණ්ඩායම එදින කුරුණෑගල හෝටලයක නවාතැන් ගන්නවා. රාත්‍රී භෝජන සංග්‍රහය සහ සුහද හමුව එහිදී.
  • 23 වනදා උදැසන කුරුණෑගලින් පිටත් වී මහනුවර හරහා නකල්ස් රක්ෂිතය ආසන්න නවාතැනකට ගොස් එහි නවතිනවා.
  • 24 වනදා දිනය ඇලිහත නමින් හැඳින්වෙන දිය ඇල්ල වෙත ගොස් දිය නෑම සහ එළිමහනේ දිවා ආහාරය. ඉඩක් ලදොත් මීමුරේ සුන්දර ගම්මානයට යාම.
  • 25 උදය වරුවේ රවණා රජතුමාගේ දඬුමොණර යානය ගොඩ බැස්සීම සිදුකළා යයි සැලකෙන ‘Rawana Helipad’ ගල්තලාව වෙත කැලය මැදින් ගමන්කිරීම
  • 25 දිවා ආහාරයෙන් පසුව යලිත් මහනුවර කුරුණෑගල හරහා අතරමගදී එක්වූ අය බස්සවමින් නැවත කොළඹ බලා පිටත් වීම.

  


            ටිකක් හිතලා බලන්නකෝ එදා දියතලා ශිෂ්‍යභට කඳවුරේ ‘Compass March’..... ගිය  දඟකාරයෝ වුනාට දැන් මේ 65 පැනපු සීය පප්පලානේ....... කොන්දේ අමාරු, දනිස් අමාරු, හර්නියා, හතිය, දියවැඩියාව, රුධිර පීඩනය ආදී සකලවිධ ආබාධයන්ගෙන් පෙලෙන සෙට් එකක්. ඒ නිසාම නකල්ස් ගමනට එක්වන්න ඕනෑ කම තිබුණත් අනෙක් අයගේ පහසුව ගැන හිතලා, තම කැමැත්තෙන්ම සහභාගී නොවුන කිහිප දෙනෙකුත් හිටිය.  

            ඉතින් 6.6.66 දී එකට හිටිය එදා අවුරුදු 11ක්,12ක් වුණා කොල්ලෝ කණ්ඩායමක්, 22.2.22 දී යලිත් වතාවක් ඒ පරිසරයේදීම අපේ පාසලේදී නැවතත් හමුවුණා. 22 දා රාත්‍රී අපේ පැරණි ගුරුතුමන්ලා සමගින් සුහද හමුවක්...... ඊට පස්සේ වයස අමතක කරලා ඒ කාලේ අධ්‍යාපන චාරිකා, විනෝද චාරිකා ගිය ළමා මානසිකත්වයට බැහැල ගතකරපු අමතක නොවන දින තුනක්....... 23 වනදා, ඇමරිකන් පුරවැසියෙක් වන CM කණ්ඩායමේ ජීවනාලයක් බඳු ආනන්ද ගේ උපන්දිනය. ඒ වෙනුවෙන් මැජික් දර්ශනයක්, සංගීත සන්ධ්‍යාවක්, BBQ ඇතුළු සුපිරි රාත්‍රී භෝජනය සංග්‍රහයක් සුදානම් කළා...... වස්සා කොළඹ ඉඳලා හංගගෙන ගෙනාව B’day Cake එකකුත් කැපුන.....,

            විශේෂයෙන් සඳහන් කළ යුතු පස් දෙනෙක් මේ ගමනට එක් වුණා..... ඒ අපේ සහෝදර වරුන් පස් දෙනෙකුගේ බිරින්දෑවරු. ඔවුන් අතර අත්තම්මලත් හිටිය..... අපේ ළමා කාලයට ගිහින් නිදහසේ ඒ සතුට විඳගන්නට ඔවුන්ගෙන් ලද සහයෝගය ඉහළින්ම අගය කරන්නට ඕනෑ.....!












You Might Also Like

0 comments