තක්කඩිකමක් ...II

2/07/2017

      අතීත කතාව ...   පන්සලේ යතුර

ඒ 1967 හෝ 68 විය යුතුය. රටේ සාමකාමී යුගයකි. සුනන්ද අප පාසලට පැමිණියේ 8 හෝ 9 ශ්‍රේණියට ය. ඔහුගේ ගම් පළාත අකුරැස්ස ය. දකුණේ උපත ලබා රට පුරා ප්‍රධාන නගරවල සුළුවෙන් ව්‍යාපාර අරඹා ක්‍රම ක්‍රමයෙන් ධනවත්, ප්‍රධාන ව්‍යාපාරිකයන් බවට පත්වූ පවුල් ජාලයක ඥාති දරුවෙකි ඔහු. නෑදෑයින්ගේ දරුවන් තම ව්‍යාපාර පවත්නා ප්‍රදේශවලට ගෙන්වාගෙන ඔවුනට අධ්‍යාපනය ලබා දෙන අතර ම ව්‍යාපාර පවත්වාගෙන යාම පිළිබඳව අත්දැකීම් ලබා දී පසු කාලීනව ව්‍යාපාර පුළුල් කිරීමේ දී වගකීම් බාර දීමත් තනිව නැගී සිටීමට උදව් කිරීමත් එම දකුණේ  ව්‍යාපාරිකයන්ගේ සිරිතකි.

සුනන්ද, අප පන්තියේ සිටි අයගේ සාමාන්‍ය උසට වඩා මදක් උස, සිහින් සිරුරකින් සහ නිරතුරුව සිනාමුසු මුහුණකින් සිටි ප්‍රසන්න අයෙකි. වාරය අතර මගදී අලුතින් පන්තියට එකතුවන සගයෙකු පිළිගැනීමට ටික කලක් ගත වුවද, සුනන්ද ඉතා ඉක්මනින් අන් අය සමග මිතුරු විය. නොපැකිල ඉදිරිපත් වීම මගින් ගුරුවරුන්ගේ ද සිත් දිනා ගත්තේය. පැහැදිලි වටකුරු අත්අකුරුත්, ලස්සනට  චිත්‍ර ඇඳීමේ හැකියාවත් ඔහු පෙරට ගෙන ආ අනෙකුත් සාධක විය. ජාතික සෞඛ්‍ය සතිය වෙනුවෙන් පැවති දිස්ත්‍රික් චිත්‍ර තරගයකදී සුනන්ද ත්‍යාගයක් දිනා ගත් බවක් ද මතක ය.

වරක් අප අතර වූ සුළු ගැටුමකදී  මා ඔහුගේ අතට පැන්සලෙන් ඇන පැන්සල් තුඩ කැඩී මසට කා වැදුණු සිද්ධියක් සිහි වේ. අපගේ සාමාන්‍ය සිරිත වුයේ එවැනි අවස්ථාවලදී ගුරුතුමාට පැමිණිලි කර චුදිතයාට දඬුවම් කරවීමයි. නමුත් සුනන්ද මගේ අතින් අල්ලා “මචාන් උඹ මට ඇන්නා නේද? ” යි අසා නිහඬ විය. ඒ මා සිතට තදින් බලපෑ සිදුවීමකි. ඔහු මගේ කිට්ටුම මිතුරෙකු වීමට ද එය හේතු විය.

අමතක නොවන තවත් සිදුවීමක් පන්තියේදී සිදුවිය. එකල නව යොවුන් වියේ පසුවූ අප නොදන්නා දේ දැනගැනීමේ බලවත් ආසාවකින් යුතු වූ අය වීමු. (අද මෙන් අන්තර්ජාලය තුලින් ‘sex’ සොයා ලෝක වාර්තා වලට දායක වීමේ පහසුකම් එදා නොවිය.) පිරිමි පාසලක් වූ නිසාම, අප එක්තරා අසහනයකින් මෙන්ම, පන්තියේ කොල්ලන් පමණක් සිටි නිසාම වැඩි නිදහසක් ද භුක්ති විඳිමින් සිටියෙමු. කියවිමට නුසුදුසු යයි සමාජ සම්මතයක් තිබු ශත75 ඩීමන් ආනන්දගේ මාරක කතා පොතක් හෝ සභ්‍යත්වයේ සීමාවට එහා ගිය සිතුවම් සහිත සඟරාවක් ඉඳහිට කවුරුන් හෝ පන්තියට රැගෙන එයි. එය කියවීමට හෝ පින්තූර බැලීමට ඇතිවන්නේ ලොකු තරඟයකි. වරක් කොළඹ යුගයේ කවියෙකුගේ “මඟුල් දා රෑ” නම් කවි පොතක් කවුදෝ පන්තියට ගෙනාවේ, විවේක කාලය අවසානයේදී ආපසු හිමිකරුට බාර දිය යුතුයැයි යන කොන්දේසියක් ද  සමග ය. පොතක් කීවාට එය මුද්‍රිත පොතක් නොවීය. අතින් ලියන ලද දිගු සඳැස් කවි පෙළක් සහිත හමගිය, කොළ ඉරීගිය දුර්වර්ණ වූ ඇක්ස්සයිස් පොතකි. සැමදෙනම එකිනෙකා පරයමින් එය කියවීමට උත්සාහ කරද්දී තමන් වෙත වූ හිස්  ඇක්ස්සයිස් පොතක් ගත් ආනන්ද කලබල නොවී සිටින ලෙසට අප නිහඬ කර හනි හනික මුළු කවි පොතම පිටපත් කළේ ය. නියමිත වෙලාවට කවි පොත ආපසු හිමිකරුට බාර දීමට හැකිවූ අතර, පන්තියේ සියලු දෙනාටම නිදහසේ එය රසවිඳිමට ද ඉඩ ලැබුණි. අපගේම වයසේ වුවද සුනන්ද අපට වඩා ඉදිරියෙන් සිටි, කලබල නොවී කළ යුතු දෑ තෝරා බේරා ගැනීමේ හැකියාවකින් ද යුතුවූ අයෙකි. නමුත් ඔහු දඟකාර, අනර්ථකාරී හෝ අකීකරු සිසුවකු නොවිය.

සුනන්ද නැවතී සිටියේ තම මාමාට අයත් නගරයේ පිහිටි කඩයක ඉහළ මහලේ ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලං වෙද්දී අප තිදෙනෙකු ඉරිදා දිනවල එහි ගොස් පාඩම් කිරීමටත් විශේෂයෙන් ගණිත ගැටළු සාකච්ඡා කිරීමටත් පුරුදු වීමු. බිස්කට් සමාගමක නියෝජිත ප්‍රාදේශිය ගබඩාව වූ එහි වහලය දක්වාම බිස්කට් සහිත කාර්ඩ්බෝඩ් පෙට්ටි අසුරා තිබුණි. නිවසක එකතු වී වැඩිහිටියන්ගේ අවධානය යටතේ පාඩම් කරනවාට වඩා නගරය පාළු දිනක කඩයක ගබඩාවක් තුළ පාඩම් වැඩ කිරීම වෙනස් අත්දැකීමක් විය. පළුදු වූ පෙට්ටි තුළ වූ බිස්කට් තම පරිභෝජනයට ගැනීමේ සුවිශේෂී වරප්‍රසාදය ද සුනන්ද සතු විය. එම දෙසැම්බරයේදී අප අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුනිමු.

එකල, දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට මුහුණ දුන්නෝ, අද දරුවන්ට අහිමි වී ගිය සුවිශේෂ වූ වරප්‍රසාදයකට හිමිකම් කීමේ වාසනාවන්තයෝ වූහ. විභාග ප්‍රතිඵල එන තුරු, ඊළඟ වසරේ පළමු වාරය කිසිම වගකීමකින් තොරව පාසල් යාමටත් ඉගෙනීමේ කටයුතුවලින් ද නිදහස් සැහැල්ලු දිවියක් ගෙවීමටත් ලැබුවා වූ මහඟු අවස්ථාවයි ඒ. (උනන්දුවෙන් යම් කටයුත්තක් සඳහා අවධානය යොමු වූවා නම් ඒ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා පමණි. - අප බොහෝ දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයයට පෙනී සිටියේ අත්හැර දැමු විෂයයක් ලෙසිනි. - අනාගත අවශ්‍යතා පිළිබඳව මනා අවබෝධයකින් පසුවූ අප ගුරුතුමන්ලා මෙම කාලය තුල ඒ සඳහා සුවිශේෂී කැපවීමක් කිරීම සඳහා අප දිරිගැන්වූහ. ඉංග්‍රීසි විෂයය සැබෑ අවබෝධයකින් යුතුව ඉගෙන ගත්තේ එම මාස තුනේදී යයි කීම නිවැරදිය.)

අද අප දකින්නේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ සැනින් ම මාධ්‍ය පුරා, ගස් ගල් තාප්ප පුරා දක්නට ලැබෙන උසස් පෙළ පෞද්ගලික පන්ති සහ වෘත්තීය හෝ විදෙස් උපාධි පාඨමාලා සඳහා වන ප්‍රචාරක තරගයයි. විභාගය අවසන් දින සුදු නිල ඇඳුම පුරා විවිධ වර්ණ සිහිවටන ලකුණු සමග (එකල නොවූ මෙම සිරිත අප පාසල් පද්ධතියට එකතු වුයේ කවදාදැයි නොදනිමි.) ආඩම්බරයෙන් සහ සතුටින් නිවසට එන දරුවා මෙන් ම දෙමාපියන් ද එම ප්‍රචාරක උගුලට ගොදුරු වීම නොවැලක්විය හැකිව ඇත. උසස් පෙළ හදාරන විෂයය ධාරාව සහ යා යුතු පන්ති පිළිබඳව තීරණය කිරීමට ඔවුනට සිදුව ඇත.

පන්තියේ සෑම කෙනෙකුට ම නොලැබුනත්, එම කාලය තුළ අප කිහිප දෙනෙකුට නිදහසේ ගමන් බිමන් යාමට දෙමාපිය අවසරය ලැබී තිබුණි. සුනන්ද, මා සහ තවත් දෙදෙනෙකු හැකි සෑම විටෙකම එකතු වී අපගේ බයිසිකල්වලින් නගරයෙන් බැහැර සිටින පාසල් මිතුරන්ගේ නිවෙස් සොයාගෙන යාමට පුරුදු වූවෙමු. ප්‍රධාන මාර්ගවල අඩු වාහන සංඛ්‍යාවක් ගමන් ගත්, මාර්ග අනතුරු ගැන නිතර අසන්නට නොලැබුණු එකල මෙවැනි ගමන් අනතුරු දායක ලෙස නොසැලකුණි. බයිසිකල් යතුරකින්, හුලං පොම්පයකින් සහ රබර් වෑල්ව් කැබලි කිහිපයකින් සන්නද්ධව සිටි අපට හදිසියේ සිදුවන හුලං බැසීම වැනි ආපදාවකට මුහුණ දීමේ හැකියාව තිබුණි. හැරත් ‘වින්කල්’ නමින් හැඳින්වුණු බයිසිකල් වැඩපොලවල් මහමග අසල සැතපුමක් හමාරක් ඇතුලත අනිවාර්යයෙන් ම දක්නට ලැබුණි. සුළඟට කැරකෙන පෙති සහිත බයිසිකල් රිම් එකක් පාරේ ගමන් ගන්නා වාහන වලට හොඳින් පෙනෙන ලෙස කණුවක සවිකර තිබීම දුර සිටම ‘වින්කලයක්’ හඳුනා ගැනීමේ සලකුණයි.

නිවාසවලට දුරකතන පහසුකම් ද නොවූ එකල, කලින් දැනුම් දී ගියේ ද ඉතා කලාතුරකිනි. සමහර දෙමාපියන් අප ආදරයෙන් පිළිගෙන හැකි උපරීම අයුරින් සංග්‍රහ සත්කාර කළ අතර සමහර අයට අප කරදරයක් වූ බව ද පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

මෙතෙක් ලියැවුණේ මූලික කතාවට අදාල නොවන අනවශ්‍ය දේ දෝයි විටෙක මට සිතේ. බොහෝවිට මා අතින් ලියැවෙන්නේ මගේ මතකයන් සහ අත්දැකීම් සමග මා දුටු, දකින සමාජය සහ වටපිටාව පිළිබඳව සිතට නැගෙන සිතුවිලි ය. සමහරවිට එවන් සිතුවිලි මට ම පමණක් සිමා වූ දේ විය හැක. බරපතල වගකීම්වලින් සහ ඉදිරිය ගැන අරමුණකින් තොරව, විශ්‍රාම දිවියේ විවේකිව සිටින විට අතීත ස්මරණය ඉතා මිහිරි ය. වැඩිහිටි වියේ සිටින අප බොහෝ දෙනෙකු තම ළමා කාලය සහ වත්මන් දරුවන්ගේ ළමා කාලය සසඳා අදට වඩා එදා යහපත් බවට තර්ක කරනු මා දැක ඇත. මා අතින් ද එම වරද සිදුවනු පෙනේ. අපේ ළමා කාලයේදී අප වැඩිහිටියන් ද මේ අයුරින් ම ඔවුන්ගේ කාලයත් අපගේ කාලයත් සසඳන්නට ඇත. (මගේ බස හැසිරවීම සහ වියරණ පිළිබඳව මම සෑහීමකට පත් නොවෙමි. පැරණි මතකයක් මා ලියනුයේ හුදෙක් ම මගේ කාලය ගෙවා දැමීමටය. මා අතින් ලියැවුන දේ කිහිප දෙනෙකු අතින් හෝ ඇගැයීමක ට ලක්වූ අතර මගේ අත්දැකීම් සටහන්කර තබන ලෙස ඔවුහු මා දිරිමත් කළහ.)

කුරුණෑගලට සැතපුම් 5-10 ක් පමණ වන වපසරියේ පැරණි සිද්ධස්ථාන කිහිපයක් පිහිටා ඇත. රිදීවිහාරය, වට්ටාරම සහ මැද්දේගම රජ මහා විහාර මේ අතරින් ප්‍රධාන ය. වෙසක් පොසොන් වැනි ආගමික උත්සව සමයන්හිදී මෙම පුජනිය ස්ථාන වෙත මහා ජන කඳක් ඇදෙන අතර, නගරය අවට ජනතාව අඩු පිරිවැයකින් වන්දනාවේ යාමට මෙම ස්ථාන තෝරා ගත්හ. උත්සව සමයේදී ප්‍රධාන බස් නැවතුම්පලේ සිට විශේෂ ගමන් සේවා පහසුකම් ද සලසා තිබුණි. අනෙක් දිනවල දී කලාතුරකින් පැමිණෙන වන්දනා නඩයක් හැරුණු විට මෙම සිද්ධස්ථාන පාළු ස්වභාවයක් ගනී.

රංජන් ගේ නිවස පිහිටා තිබුණේ මැද්දේගම පන්සලට නුදුරුව ය. සුනන්ද, නිමල් සහ සුනන්දගේ ඥාති සොහොයුරෙකුත් එක් සෙනසුරාදා දිනක සවස රංජන්ලාගේ ගෙදර යාමට ක්ෂණිකව තීරණය කළෙමු. එකල අද මෙන් දුරකථන පහසුකම් නොවිය. රංජන් ගේ මව ඇතුළු පවුලේ අය, අපගේ හදිසි පැමිණීමෙන් මදක් අපහසුවට පත් වූ බව පෙනුණත් අපව සාදරයෙන් පිළිගැණුනි. අපේ ගමන් බිමන් ගැන දැනගෙන සිටි රංජන් ට නම් එය අරුමයක් නොවීය. නොපමාව ලැබුණු තැඹිලි සංග්‍රහය වෙහෙස නිවා දැමීය. දිනපතා පාසලේදී මුණගැසෙන අපට කතා කිරීමට අලුත් තොරතුරක් ද නොවීය. රංජන් ගේ කාමරයට වී පොතපත සහ ඔහුගේ සරල තාක්ෂණික නිර්මාණ ගැන කතාකරමින් සිටින විට දොර ළඟට පැමිණි අම්මා අදහසක් ඉදිරිපත් කළා ය.

“කම්මැලි කම යන්නත් එක්ක, පුතා මේ ළමයින්ව පන්සල පැත්තේ එක්ක ගිහින් එන්න. මම ඉක්මනට මොනවා හරි හදල තේ ටිකක් ලැස්ති කරන්නම්”.

ඒ හොඳ අදහසක් විය. රංජන් සමග අප පන්සල වෙත ගියෙමු. ලොකු ඉතිහාසයක් ඇති රජමහා විහාරයක් නොවුනත් එය විසිවන සියවස මුලදී ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයත් සමග දියුණුට පත් අංග සම්පුර්ණ විහාරස්ථානයකි. සාමාන්‍යයෙන් බැතිමතුන් ගැවෙසෙන වෙලාවක් නොවූ බැවින් පාළු බවක් ද ඉසිලී ය. පිළිමගෙය තුළ කතාකරන විට දෝංකාර ශබ්දය විහිදෙයි. විශේෂයෙන් මතකයේ රැඳුනේ අපායේ දඬුවම් පිළිබඳව දර්ශන නිමවා තිබු කොටසයි. පිළිමගෙය, බෝධිය සහ චෛත්‍යය දැක බලාගෙන සිරිතට මෙන් දෑත එක්කොට වන්දනා කරමින් මද වෙලාවක් එහි රැඳී නැවත නිවසට පැමිණෙන විට අප වෙනුවෙන් අග්ගලා, බිස්කට්, කෙසෙල් සමග තේ මේසයක් සුදානම් වි තිබුණි.

තේ පානයට පෙර තවත් ප්‍රශ්නයක් මතුවුණි. එනම් සුනන්ද බඩේ අමාරුවක් නිසා අපහසුවට පත් වීමයි. එකල සාමාන්‍යයෙන් වැසිකිලි ඉදිවූයේ නිවසට මදක් එපිටිනි. සුනන්ද පැමිණෙන තුරු අපේ තේ පානය පමා වූ අතර අග්ගලා වැනි දේ සුදුසුදැයි මව මදක් කණගාටුවට පත් වූවාය. සුනන්ද සඳහා විශේෂයෙන් හුලං විස්කෝතු සහ කෝපි සුදානම් විය. ඔහු ගේ අසනීප තත්ත්වය නොවුණා නම් එම ගමන ඉතා ප්‍රීතිමත් ඒකක් විය. නිවසින් සමුගනිද්දී ද පරිස්සම් වන ලෙසට අම්මාගෙන් උපදෙස් ලැබුණි.

ආපසු එන ගමනේදී සෙවන ඇති තැනක මදක් විවේක ගැනීම සඳහා නැවතුනෙමු. අසනීප තත්ත්වය ගැන විමසු විට සුනන්ද සිනාසෙමින් ලේන්සුවක එතු යමක් අපහසුවෙන් තම සාක්කුවෙන් පිටතට ගත්තේය. මගේ ඉහ මොළ රත් වුයේ එය දුටු විට ය. එහි වුයේ සෑහෙන බරකින් යුතු වූ පන්සලේ විහාර මන්දිරයේ පිත්තල යතුරයි. ඔහුට බඩේ අමාරුව ඇති වුයේ, එය හොඳින් ලේන්සුවෙන් ඔතා නොපෙනෙන ලෙස සාක්කුවේ සඟවා ගැනීමට බවත් එනිසාම අග්ගලාවල රස බැලීමට ද නොහැකි වූ බව සුනන්ද සිනාසෙමින් ම පැහැදිලි කළේ ය.


සුනන්ද සහ ඔහුගේ ඥාති සොයුරා එකතුව කොලුකමට කරන ලද දඩබ්බර වැඩකි ඒ. සාමාන්‍යයෙන් පන්සල්වල විහාරගෙයි දොර ඝනකම් දැවයෙන් කළ ඒවා ය. එහි යතුර ද ඝන පිත්තලෙන් කළ අඟල් 6-8 ක් පමණ දිග කැටයම් කළ එකකි. උදැසන දොර විවෘත කිරීමෙන් පසුව යතුර දොර අගුලේ ම රඳවා තබන අතර කිසිවෙකු හෝ එය සොරකම් කරාවියයි සැක නොසිතන්නේ ය. (මෑතකදී නම් පන්සල් තුල කෙරෙන සොරකම් සාමාන්‍ය සිදුවීම් වී ඇත. එවැනි සිදුවීම් ඇතුලත්  CCTV දර්ශන රුපවාහිනි නාලිකා සහ facebook හි සුලබ දසුන්ය.) සොරකමක් ම නොවූවත් මේ සිදුව ඇත්තේ ද එය ම ය.

අධ්‍යාපන හෝ විනෝද චාරිකාවකදී හෝටලයකින් තේ පානය කර එන අතර තුර හෝටලයේ සේවකයින්ට නොපෙනෙන ලෙස රැගෙන ආ 'අසෝකා වීදුරුවක්' හෝ 'හැන්දක්' සාක්කුව තුලින් ගෙන පෙන්වූ අවස්ථා අප අතර විය. එවන් අවස්ථා වලදී ගුරුවරුනට නොදැනෙන පරිදි ඒ හපන්කම කළ සගයා හාස්‍යය මුසු අනුමැතියකට හෝ අගය කිරීමකට ලක් වූ බව සැබවි. නමුත් මෙම සිදුවීම ඒ හා සම තත්වයේ ලා සැලකිය හැකිද? පන්සලේදී යාන්තමින් හෝ මා දැනගත්තා නම්, කිසිලෙසකින්වත් මෙය ගෙන ඒමට ඉඩ නොදෙමි. වහාම ආපසු ගෙන ගොස් එය බාර දී එමු යයි යෝජනා කළ ද, එවැනි දෙයක් කිරීම වඩා භයානක බව සුනන්ද සහ අන් අයගේ අදහස විය.

ආපසු නගරයට පැමිණි අපි නිවෙස් බලා විසිර ගියෙමු. බියෙන් මෙන්ම තරහින් ද පසු වූ මම ඔවුන් සමග කතා නොකර සමුගැනිමකින් ද තොරව වෙන් වූයෙමි.


මා එතෙක් ජීවිතයේදී මුහුණ දුන් බරපතලම සිදුවීමයි මේ. ගොඩ එන්නේ කෙසේදැයි සිතාගත නොහැක. පවුලේ බාලයා වූ මා ළමා අවධියේදී දඟකාර දරුවෙකු ලෙස ඥාතීන් හිතවතුන් අතර ප්‍රකටව සිටියද, දැනුම් තේරුම් ඇති යොවුන් වියේදී, යහපත් හොඳ දරුවෙකුගේ ආදර්ශයක් ලෙස ඥාතී සොයුරන් වෙත දක්වන චරිතයක් බවට පත්ව සිටියෙමි. මගේ දෙමාපියන් ද ඒ පිළිබඳව ආඩම්බරයෙන් සිටි බව දනිමි. දැන් ඒ සියල්ල අවසානය. හෙට අනිද්දාම සොරෙකු ලෙස හංවඩු ගැසෙනු ඇත. එතෙකින් නොනැවතී සිර දඬුවම් පවා විඳීමට සිදු වනු ඇත. අම්මා-තාත්තාට මුහුණ දෙන්නේ කෙසේද? මතු වූ පළමු ගැටළුව එයයි.

වාසනාවකට මෙන් මා නිවසට පැමිණෙද්දී තාත්තා ගමනක් ගොසිනි. සිටියා නම් මගේ වෙනස් හැසිරීම ඔහු හඳුනා ගන්නවා නිසැක ය. අම්මාට ද කෙලින් මුහුණ නොදී ඇඟපත සෝදාගෙන කාමරයට වී එළඹෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතන්නට වුයෙමි.

රාත්‍රී කෑම මේසයේදී (අද බොහෝ පවුල්වල මෙවැනි දෙයක් නොමැති බව දනිමි.) දවසේ තොරතුරු කතාකරද්දී එදින ගමන ගැන ඇසූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු දුනිමි. අම්මා සහ තාත්තා  මගේ වෙනසක් දකින්නට ඇති බවට කිසිම සැකයක් නැත. සත්‍ය සිදුවීම පැවසීමට අවැසි වුවද, ඒ සඳහා ධෛර්යයක් උපදවා ගැනීමට නොහැකි විය. අව්වේ බයිසිකල් පැදීම නිසා හිස රිදෙන බව පවසා ඉක්මනින් ම ඇඳට ගියෙමි.

පසුදින, ඉරිදා මගේ ජිවිතයේ ගෙවුණු අසහනකාරි ම දිනයකි. ඇඳට ම වී කාලය ගත කළෙමි. කොයි මොහොතක හෝ මා සොයා පොලිසියෙන් පැමිණිය හැක. එම අවස්ථාවේ හැසිරිය යුත්තේ කුමන ආකාරයකට ද? අම්මා-තාත්තා මේ සිදුවීම කෙලෙසක දරා ගනීවි ද? ඉන්පසුව ඔවුන් සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? ඒ දිනවලම ඉංග්‍රීසි පාඩමකදී අලුතින් උගත් “Never trouble trouble till trouble troubles you” යන ආප්තෝපදේශය සිහිකරමින්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් සත්‍යය ම පැවසීමට තීරණය කර සුදානම්ව සිටියෙමි. කිහිපවිටක් ම අම්මා පැමිණ නළලට අත තබා බලා පසුව කොත්තමල්ලි ද තම්බා දුන්නා ය. බෙහෙත් ගැනීමට යාමට සුදානම් වුව ද එය කල් දමා ගැනීමට හැකි විය. උණක් නොමැති අසහනකාරී තත්ත්වය මත දිනය ගෙවුණේ විශේෂ සිදුවීමකින් තොරවය.

සඳුදා පාසලට ගියේ ප්‍රකෘති මා නොවේ යයි කිව හැකි තරම් ය. දැනටමත් සුනන්ද පොලිසියෙන් රැගෙන ගොස් ඇති ද? අද පාසලේදී අප සියලු දෙන රැගෙන යාමට පොලිසිය පැමිණේ ද? ගුරුතුමන්ලාට සහ සහෝදර සිසුනට මුහුණ දෙන්නේ කෙසේ ද ආදී නොයෙක් දේවලින් අවුල් වූ මනසකින් යුතු වෙනත් පුද්ගලයෙකි. උදෙන් ම රංජන් දැකීම මට මහත් සහනයක් විය. මේ ගැන කතාකරන්නට දැන් කෙනෙකු ඇත. සිදුවූ සියල්ල මම ඔහුට පැවසුවෙමි. අදහාගත නොහැකි ලෙස මා දෙස බැලූ රංජන් ;

 “ඔව් මචං, පෙරෙයිද රෑ එහෙ ලොකු කලබලයක් තිබුණා. අම්මල එහෙමත් පන්සලට ගිහින් ඇවිත් ඔය කතාව කීවා. ඒත් කවුරුවත් උඹල ගැන සැක කළේ නැහැ. හැබැයි මට නම් නිකමට සේයාවක් වගේ හිතුණා උඹලවත් ද කියල.... ඒත් කවුද බං ඔහොම ගොන් වැඩක් කරයි කියල හිතන්නේ? ඊයේ තිස්සේ පොලිසියෙනුත් ඇවිත් හෙව්වලු. දැන් බලපුවහම මාත් අහු වෙලානේ හොරකමට..... මොකද අපි දැන් කරන්නේ?”

අප දෙදෙනාම පත් වුයේ ලොකු ම අපහසු තත්ත්වයකට ය.... ඊයේ දිනය පුරා මා විඳි බියට, අපහසුතාවයට, වේදනාවට, දැන් රංජන් ට ද මුහුණ දීමට සිදුව ඇත. සුනන්ද තවමත් නැත. සිතාගත හැකි විසඳුමක් ද නැත.

දුර එන සුනන්ද දුටු අපට ඇතිවුයේ තරහ සමග සතුට මුසුවූ හැඟීමකි. සුපුරුදු ලෙස සිනා සෙමින් පැමිණි සුනන්ද තුළ අප වෙත ඇති ආකාරයේ බියක් චකිතයක් දක්නට නොලැබුණි.

“බයවෙන්න එපා මචං ඒක කාටවත් හොයන්න බැරි තැනක හංගල තියෙන්නේ.”

“හංගල නෙමෙයි යකෝ..... දැන් පොලිසියෙන් හොයන කොට එදා හවස පන්සලට ආව අයව..... රංජන් ව අල්ලාගෙන යනවා..... මූට දෙකක් අනිනකොට කියන්න වෙනවා අපි ගැන... .... එතකොට මාව අරන් ගිහිල්ල දෙකක් අනිනකොට, මම කියනවා උඹ ගැන... ඊ ළඟට උඹට දෙකක් අනින කොට උඹට වෙනවා පෙන්නන්න හංගපු තැන්......... ඒ ඔක්කොටම වඩා මොන ලැජ්ජාවක්ද?  කොහොමද ඉස්කෝලේ එන්නේ? ගෙදරට....., සර්ලට......, මුහුණ දෙන්නේ? උඹේ මාමා උඹව එලවයි ආපහු මාතරට. අපිට මොකද වෙන්නේ....?”

සුනන්දගේ මුහුණට බැරෑරුම් බවක් නැගුනේ එවිට ය. ටික වෙලාවක් කල්පනා කළ ඔහු ,

“හරි... හරි... උඹල බය නැතුව හිටපල්ලා..... උඹලා අහු නොවෙන්න මම ඕක විසඳලා දාන්නම්....”
විසඳුම කුමක්දැයි ඇසුවද ඔහු එය පැහැදිලි කළේ නැත. අපගේ  කරදර කිරීම මත පැවසුවේ,

“මම පොලිසියට ගිහින් යතුර දීලා ඇත්ත කියන්නම්.....”

සැබවින්ම සුනන්ද අන් අය වෙනුවෙන් එවැන්නක් වුවද කළ හැකි හිත හොඳ යහළුවෙකි. අපට වඩා පැසුණු අත්දැකීම් ඇති චරිතයකි.

එදින මුළු දිනය ම ද රැය ද තවත් අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් විය. සවස්වරුව ද ගතවුනේ ඕනෑම මොහොතක පොලිසියෙන් පැමිණ මා රැගෙන යා හැකි බව සිතමිනි. අම්මා තාත්තාට මේ සිදුවීම කිව යුතුයැයි කිහිප විටක් ම සිතුන නමුත් තවත් දිනකට එය කල් දැමුවෙමි.

අඟහරුවාදා උදැසන සුනන්ද හිටියේ සුපුරුදු සැහැල්ලුවෙනි. රංජන් වෙත ද අලුත් තොරතුරක් ලැබී නොතිබුණි. අම්මලාගේ සැකය අප වෙත යොමු වීමට ඉඩ ඇති බැවින් නිවසේදී ඒ පිළිබඳව කතා නොකළ බවයි ඔහු පැවසුවේ. කොතෙක් ඇවටිලි කළත් සිදුවුයේ කුමක් දැයි කීම සුනන්ද හිතා මතාම පමා කළේ අපව කුතුහලයෙන් තැබීමට ය. අවසානයේදී ඔහු තම හපන්කම පැහැදිලි කළේ මෙසේ ය.

“ඊයේ හවස යතුරත් අරන් මම වැල්ලව පොලිසිය ළඟට ම ගියා..... වීරය වගේ ගියාට මොකද බය හිතුණා මචං, පොලිසිය ඇතුලට යන්න...... එතැනදී අලුත් අයිඩියා එකක් ආවා...... ටිකක් කළුවර වැටෙන්න ඇරලා කුරුණෑගල බස් එකේ පන්සල පැත්තේ සීට් එකක වාඩි වෙලා ආවා.... වැඩිය සෙනග හිටියෙත් නැහැ. දෙයීයනේ කියල සද්ද නැතිව පන්සලේ ගේට්ටුව ලඟින්ම දැම්මා. කවුරු හරි දකින කෙනෙක් හාමුදුරුවන්ට ගිහින් දෙයි.”

වටිනාම කතාව අසන්නට ලැබුණේ පසු දින රංජන් ගෙනි. ඒ ඔහුගේ නිවසේ ඇතිවූ කතා බහයි. යතුර සොරකම් කර ඇති බව දැනගත් විගස රැස්වූ දායකසභාව පොලිසියට දැනුම් දුන් අතර එදින රාත්‍රී දායක මහත්වරුන් කිහිප දෙනෙකු විහාර ගෙයි ආරක්ෂාවට පන්සලේ නතර වී ඇත. පසු දින පන්සලේ දේවාලය භාර කපුමහතා නායක හාමුදුරුවන්ගේ ද අවසරය ඇතිව දේව යාතිකාවක් කර අංගම් පිඹීමක් කළේලු. යතුර සොරකම් කළ තැනැත්තා සිහිය අවුල් වී නහයෙන් කටින් ලේ පෙරාගෙන යතුර ද රැගෙන පැමිණෙනු ඇති බවට ඔහු දැනුම් දුන්නේලු. ඊළඟ දින උදයේ පන්සලට පැමිණි අයෙකුට පන්සල් භූමියට ඇතුළුවන දොරටුව අසල ම බිම තිබුණ යතුර දැකගන්නට ලැබුණු බවත් වහාම හාමුදුරුවන් සහ දායකයන් කැඳවාගෙන විත් එය පෙන්වූ බවත් දැනගන්නට ලැබුණි. සොරා සිහි විකල්ව පැමිණීම කෙසේ වෙතත් කපුමහතා කී පරිදි ම යතුර ආපසු ලැබී ඇත.

පන්සලේ නැති වූ යතුර හමු වුයේ ඒ අයුරිනි. යොවුන් පාසල් දරුවන් කිහිප දෙනෙකු කොලුකමට කළ බරපතල වරදක් දුරදිග නොගොස් ඒ ආකාරයෙන් කෙළවරකට පැමිණීම, දින තුනක් තිස්සේ ඇඟේ ලේ වතුර වී සිටි මා ලද ලොකු ම සහනය විය.

මෙම සිදුවීමේ දී වඩාත් ම ප්‍රතිලාභ ලැබුණේ පන්සලේ දේවාලයටත් කපුමහතාටත්ය. එදිනට පසුව, දේව අනුහසින් නැතිවූ දේ සොයා ගැනීමටත්, නිමිති බැලීම ආදී වූ කටයුතු කර ගැනීමටත්, දේවාලයට පැමිණි අය කිහිප ගුණයකින් වැඩිවූ බවත් කපුමහතාගේ වටිනාකම ඉහළ ගිය බවත් රංජන් වෙතින් දැනගතිමි.

සියල්ල යහපත් ලෙස අවසන් වන අයුරින් යතුර ආපසු ගෙනගොස් දැමීම සඳහා සුනන්ද පොළඹවන්නට ඇත්තේ ද දේව බලයෙන් ම විය හැකි බව නොසිතුනාම නොවේ.

ඒ අතර මැද්දේගම ගමේ තරුණ පිරිස අතර තවත් කතාවක් පැතිරුණිලු. එනම් යතුර නැතිවීමද කපුමහතාගේ ම වැඩක් බවයි.

෴෴෴


පසු කතාව:

ගැටඹේ චෛත්‍යයේ චූඩාමාණික්‍යය අතුරුදහන්වීමේ සිදුවීම සමග, ඊට දශක තුනකට පමණ එහා සිදුවූ පන්සලේ යතුර නැතිවීමේ සිදුවීම මගේ මතකයට ආවේ මෙවැනි දේ කවදත් කොතැනදීත් සිදුවිය හැකි බව පසක් කරමිනි. සමාන සිදුවීම් සමාන ආකාරයෙන් අවසන් විය යුතු බවට නියමයක් නැත. සත්‍යක්‍රියාවෙන් පසුව චූඩාමාණික්‍යය ලැබුණා දැයි මම නොදනිමි. නමුත් කලකට පසුව එම චෛත්‍යයේ නැවතත් චූඩාමාණික්‍යයක් සවි කර තිබෙනු දක්නට ලැබුණි.
↭  ↭  ↭

අප සිව් දෙන හැර අනෙක් මිතුරන් අතරට පන්සලේ යතුර පිළිබඳ සිදුවීම පැතිර ගිය බවට ද මතකයක් නොමැත. හපන්කමකට වඩා නොහොබිනා පහත් වැඩක්, මෙන්ම ලැජ්ජා සහගත සිදුවීමක් බැවින් එය එසේම යටපත් වන්නට ඉඩ දී අප නිහඬවූවා ද විය හැක.

සුනන්ද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව උසස් පෙළ සඳහා තම ගම් ප්‍රදේශයට යන්නට ඇත. ඉන් අනතුරුව අප දුරස් වූ අතර ඔහු පිළිබඳව තොරතුරක් නැති විය. මෙම කතාව ලියන්නට මුල පිරූ අවස්ථාවේ එම රසවත් අතීතය ආවර්ජනය කිරීම සඳහා සුනන්ද පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට ගත් උත්සාහයන් ද අසාර්ථක විය. රන්ජන් පසු කලක නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ද හොබවා විශ්‍රාම ගත්තේ ය. අනෙක් මිතුරා නිමල් තරුණ අවධියේ ම අප අතරින් සමුගත් බව දනිමි. සුනන්දගේ ඥාති සොහොයුරා පිළිබඳව ද තොරතුරක් නොදනිමි. වෙනත් සිදුවීමක් සමග යලි මා මතකයේ මතු වුවද, එම සිදුවීම ඒ දිනවල ම ඔවුන් ගේ මතකයෙන් ගිලිහෙන්නට ද ඇත.
↭  ↭  ↭

ඉහත සිදුවීම් මාලාවේ සමහර අවස්ථා, කතාවට නගද්දී අතිශයෝක්තියෙන් ඉදිරිපත් කර ඇති බවද සලකන්න.
↭  ↭  ↭


තක්කඩිකමක් මුල් කොටස 'චූඩා මාණික්‍යය' කියවා අදහස් දැක්වූ මා හිතවත් ලක්ෂ්මන් ගුණතිලක ගෙන් මා නොදත් තොරතුරක් දැනගතිමි. චූඩාමාණික්‍යය නැතිවී බව මුලින්ම දැන ගත් දින අළුයම ඔහු තම බිරිඳත් සමග බෝධි පුජාවක් සඳහා ගැටඹේ බෝධිය වෙත ගොස් සිටි බවයි  ඒ. ඔහුගේ මතකයට අනුව කාලය 2004 වසර පමණ විය යුතුය. 

එදින තවත් සැදැහැවතුන් වන්දනාමාන සඳහා පැමිණ සිටි බවත් හදිසියේම වන්දනා කරමින් සිටි අයෙකු චූඩාමාණික්‍යය අතුරුදහන් වි ඇති බවට කෑ ගැසූ  බව ලක්ෂ්මන් සඳහන් කළේය. ඒ පුද්ගලයා පරණ ගලහ පාරේ සුළු වෙළෙන්දෙකු බවත් දිනපතා අළුයම පැමිණ තම දෑසින් බලා බෝධීන්වහන්සේගේ සහ චෛත්‍යහන්සේගේ ආශීර්වාදය ලබාගන්නා අයෙකු බවත්ය. කලබලය අසා පැමිණි පන්සලේ නායක ස්වාමින්වහන්සේ, දින කිහිපයක සිට අසරණ මනුෂ්‍යයෙකු එහි රාත්‍රිය ගතකළ බව සඳහන් කළ බවත් ඒ මොහොතේ එම පුද්ගලයා ද සොයාගැනීමට නොහැකි වූ බවය. 
↭  ↭  ↭

මෙම සිදුවීම් මාලාව කියවූ වෛද්‍යවරයෙකු වෙතින් චූඩාමාණික්‍යය නැතිවීම පිළිබඳව වෙනත් ආකාරයක කතාවක් දැනගන්නට ලැබුණි. 

ඒ චූඩාමාණික්‍යය නැතිවීම පිළිබඳව සැකය යොමු වූ තවත් කණ්ඩායමක් පිළිබඳවයි. සමහර දායක මහත්වරුන්ට අනුව මෙම චූඩාමාණික්‍යය සොරකම් සිදුකර ඇත්තේ මත් කුඩු වලට ඇබ්බැහි වී සිටි කිහිප දෙනෙකි. ගැටඹේ දුම්රිය ගේට්ටුව අසල තැඹිලි වෙළඳාමක්  කරගෙනගිය ඔවුන් මතට ඇබ්බැහි වී සිටි බවත්  ඒ වෙනුවෙන් මුදල්  සොයාගැනීම සඳහා විවිධ අකටයුතු වල යෙදුනු බවත් ප්‍රකට රහසකි.

දායක සභාවේ සත්‍යක් ක්‍රියාවට දින කිහිපයකට පසුව මෙම පුද්ගලයෙකු දුම්රිය ගේට්ටුව අසලදී  වාහනයක ගැටී රෝහල් ගතකර ඇත. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  වෛද්‍යපීඨ ප්‍රදර්ශනය සුදානම් කිරීම සඳහා වැඩකරමින්සිටි සිසුවකු රැගෙන යාමට පැමිණි වෛද්‍යවරයෙකුට අයත් රථයකය. එම කතාවට අනුව පාරේ යන වාහන වලට ඕනෑකමින්ම ගැටී තුවාල සහ ලේ පෙන්වා හිමිකරු බිය ගන්වා මුදල් ලබාගැනීම මෙම කල්ලියේ මුදල් සොයාගන්නා තවත් ක්‍රමයකි. නමුත් එදින බීමතින් සිටි මොහුගේ ඉලක්කය වැරදී තදින් වාහනයේ ගැටී විසිවී මාරාන්තික තුවාල සිදුවී ඇති අතර රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් ඇත. 

දායක සභාවේ යම්  යම්  අයට අනුව එය සත්‍යක් ක්‍රියාවේ ඵල දැරීමකි.


පදිකයාගේ වරදින්ම වුව තම වාහනයේ ගැටී මියගිය අයගේ අවමගුලට උදව් කිරීමට ගිය වෛද්‍යවරයාටද  සෑහෙන පිරිවැයක් දැරීමට සිදුවූයේලු. (මෙහි නීතිමය පැත්ත කෙසේ විසඳුනිදැයි මම නොදනිමි.)

එයට දින කිහිපයකට පසුව පළවූ පුවත් පත් වාර්තාවක සඳහන්ට වූයේ  තම මියගිය සගයෙකු මිහිදන් කළ දින රාත්‍රියේ  සුසානභුමියේ  වල මතට ගොස්  ඔවුනටම අවේනික වූ යම් චාරිත්‍රයක් ඉටු කරමින් සිටි මත්කුඩු වලට ඇබ්බැහි වූ කල්ලියක සාමාජිකයන් කිහිප දෙනෙකු පොලිසියේ මත්ද්‍රව්‍ය මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගත් බවයි. මෙවන් චාරිත්‍රයක් ඇති බව පොලිසිය දැනගෙන සිටි බවත්  ඒ අනුව මෙම වැටලීම සිදුකළ බවක් ද එම වාර්තාවේ වූයේලු.

↭  ↭  ↭
එක් සිදුවීමක් හරහා එකටෙක ඇඳුනු තව කොතෙක් දේ ගැන කතාකිරීමට හැකිද?

You Might Also Like

0 comments