Pen Friend 2

4/15/2015

 පෑනේ මිතුරිය 2
හපන්කම්, මෝඩකම්, තක්කඩිකම් සහ පුරසාරම්

2012 වසරේදී ජත්‍යන්තර සම්මේලනයකින් මා ලද සම්මානයක් පිළි ගැනීම සඳහා මට බර්ලින් නගරයට යාමට අවසථාවක් උදාවිය. ඒ දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. කෙටියෙන් සඳහන් කළොත් මෙසේය.

කලින් සඳහන් කළ මහාචාර්යවරයා  මා කරෙහි ඇතිකරගත් යම් පැහැදීමක් මත 2004 වසරේදී ස්වීඩනයේ සංචාරයක් සඳහා මට ආරාධනා කළේය. බරපැන දරන ලද්දේ එතුමාය . එහිදී ස්ටොක්හෝම් නුවර පැවති ජාත්‍යන්තර ජීව-වෛද්‍ය  රසායනාගාර විද්‍යා සම්මේළනයේ  ජගත් සමුළුවට සහභාගී වීමේ වාසනාව මට උදාවිය. එහිදී මා බොහෝ දේ පිළිබඳව දැනුවත්වීමි. එයින් ලද උත්තේජනය මත අපගේ දේශීය වෘත්තිකයන්ගේ සංගමය සඳහා  ජගත් සම්මේළනයේ සාමාජිකත්වය ලබා ගැනීමට ද කටයුතු කළෙමි.

2008 වසරේ ජගත් සමුළුව  පැවැත්වූයේ නවදිල්ලි නුවරදීය. එහිදී දකුණු ආසියානු කලාපයේ අභියෝග පිළිබඳව කෙරුණු සාකච්ඡා සභා වාරයක ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා මට ආරාධනාවක් ලැබුණි.

ජගත් සමුළු හරහා උගත් දෙයින් අප රට ට යමක් හඳුන්වා දීමට අදහස්කළ මා ලාංකීය වෛද්‍ය පරීක්ෂණාගාර තාක්ෂණ විද්‍යාඥයින් සඳහා වූ අඛණ්ඩ වෘත්තීය  සංවර්ධනය වැඩ පිළිවෙලක් ව්‍යාපෘතියක් ලෙස සකස් කළෙමි.

ඒ පිළිබඳව දෙපාර්තමේන්තු මට්ටමින් ධනාත්මක ප්‍රතිචාරයක් නොලදිමි. ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණාගාර තාක්ෂණ විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමය හරහා එම වැඩසටහන කරගෙන යාමට උත්සාහ කළෙමි.  මෙම ව්‍යාපෘතිය ඇගයුමට ලක්කළ ජගත් සංවිධානය 2010 වසරේ නයිරෝබි නුවර පැවති ජගත් සමුළුවේදී මා වෙත ප්‍රධානයක් ලබාදුනි.

මා පුදුමයට පත්කරමින් 2012 වසර බර්ලින් නුවර පැවති සමුළුවේදී වෘත්තිය  කැපවීම සහ විශිෂ්ට සේවය වනුවෙන් පිදෙන 'සම්මේළනයේ නිර්මාතෘ එලිසබත් ෆ්ලෙචර්' සම්මානය සඳහා මා තෝරාගෙන  තිබුණි. එම සම්මානය  ආසියානුවකු වෙත පිරිනැමුණු පළමු අවස්ථාව ද එයයි. (ආපසු පැමිණෙනවිට කටුනායකදී මල්මාලා දමා පිළිගැනීම් හෝ ජන මාධ්‍ය තුලින් ප්‍රචාරයවීම් නම් වූයේ  නැත.)

(ඉහත දැක්වෙන තොරතුරු 'පුරසාරම්' යටතට යොදාගන්න.) යලිත් අපි ප්‍රධාන කතාවට යොමුවෙමු.

සියල්ල අවසන් කොට විශ්‍රාමිකව සිටි මට මෙය අනපේක්ෂිත බෝනස් ඒකක් විය. සමහරවිට මේ විදෙස් ගමනක් සඳහා මා වෙත ලැබෙන අවසාන අවස්ථාවද විය හැක.

 "තාත්තාට මේ වතාවේ අම්මාවත් එක්ක යන්න හැකිනේ "

යෝජනාව ආවේ පුතාගෙනි. එය මොහොතකට හෝ මට නොසිතුන අදහසකි. අමතර ලියා පදංචිය සහ ගුවන් ටිකට්පත් සඳහා වියදමක් දරන්නට සිදුවුවද, එය කාලෝචිත යෝජනාවකි. සමුළුව යෙදී තිබුනේ අගෝස්තු මසය. ගුරුවරියක වූ සන්ධ්‍යාගේ රාජකාරි අතපසුවීම් පිළිබඳව ගැටළුවක්ද පැන නොනගී. අප එම තීරණය ගතිමු. ඒ සඳහා සූදානම් වීමු.

මේ වන විට පෑනේ මිතුරිය  උල්රිකී සමග වැඩි සබඳතා නොවීය. ෆේස්බුක් ලයික් කිරීම්, උපන් දිනයට, නව වසරට, සුභ පැතීම වැනි කරුණුවලට පමණක් සීමා වී තිබිණ. ඇය වාසය කළේ දකුණු දිග මියුනිච් නගරයට ආසන්නව වූ අතර බර්ලින් නගරයේ සිට කි.මී.600  ක පමණ දුරකි. අවම මුදලක් අතැතිව නොදන්නා රටක නොදන්නා ගමනා ගමන රටාවන් ඔස්සේ පාරවල් සොයාගෙන යාමේ අවධානම ගැනීමට මම මොහොතකටවත් නොසිතුවෙමි.

කෙසේ වෙතත් යුතුකමක් ලෙස ෆේස්බුක් පණිවිඩයක් හරහා ඇය වෙත මේ බව දැනුම් දුන්නෙමි. ඒ දුටු වහාම ඇය ස්කයිප් හරහා සම්බන්ධ වූවාය සමුළුව අවසානයේ සති දෙකක් පමණ ඔවුන් සමග ගතකරන්නට පැමිණෙන ලෙස  ඈ ආරාධනා කළාය.

බර්ලින් නගරයට ගොස් අදාල සමුළුවට සහභාගි වී හැකි ඉක්මනින් ආපසු පැමිණීමට බලාපොරොත්තුව සිටි මට මේ තත්වය සිතට බරක් විය. හරියකට බඩට නොකා දුක්විඳ, රුපියල් වලින් ඉතිරි කරගත් තුට්ටු දෙක, විනෝද චාරිකා සඳහා යුරෝ වලින් වියදම් කිරීම අපරාධයකි. කොතරම් වියදම් වේදැයි පැහැදිලි ඇස්තමේන්තුවක් ද නැත.

අවසානයේදී අමතර මුදළක්ද ගෙවා දින පහකට පසුව මියුනිච් සිට ආපසු පැමිණීමට ගුවන් ටිකට්පත් වෙනස්කර ගතිමු.  සමුළුවට දින දෙකකට පෙර 2012 අගෝස්තු 16 දින, බර්ලින් නගරයට ළඟාවූ අප එම දෙදින ජර්මන් අගනුවර සිරි නැරඹුවෙමු. බර්ලින් තාප්පයේ ඉතිරි කොටස් සහ 'බර්ලින් ඔන්සම්බල්' රඟහල දැක ගැනීම මාගේ අරමුණු අතර විය. බර්ටෝල බ්‍රෙෂ්ට් පිළිබඳව සහ හෙන්රි ජයසේනයන්ගේ චාරිකා සටහන්වල සඳහන් එම තොරතුරු දෙනෙතින් දැකගැනීමට මහත් කැමැත්තකින් සිටියෙමි. බටහිර සංගීතය හදාරා ඇති සන්ධ්‍යා බීතෝවන්, බාක් වැනි අයගේ සබඳතා ඇති ස්ථාන හෝ සිහිවටන පුවරු දකිද්දී උද්දාමයට පත් වූවාය. බර්ලින් නගරයට නුදුරු නාසි වද කඳවුරක කෞතුකාගාරයක් නැරඹිමට යාමට අදහස් කළ නමුත් එය ඉටු කරගැනීමට නොහැකි විය.

ඊළඟ දින කිහිපය සමුළුව සඳහා ගතවිණි. මූලික කතාවට අදාල නොවන බැවින් එම තොරතුරු සඳහන් නොකරමි. ඒ අතර තුර මියුනිච් දක්වා දුම්රිය බලපත්‍ර වෙන්කර ගතිමි. උල්රිකී වෙත ද එම විස්තර දැනුම් දුනිමි.

අගෝස්තු 23 දින උදෑසනම  හෝටලයෙන් පිටත් ව මියුනිච් බලා  පිටත්වන දුම්රියට ගොඩවීමු. එම ගමනද තවත් සුන්දර අත්දැකීමක් ම විය. නගරයෙන් බැහැරව, තෙරක් නොපෙනෙන කෙත්වතු,   කුඩා නගර හා ගැමි පරිසරයන් හරහා අධික වේගයෙන් ඇදීගිය දුම්රිය නියමිත වේලාවටම මියුනිච්  දුම්රිය පළට ලඟා විය. මා ඒ අසිරිමත් මොහොතට කෙසේ මුහුණදිය යුතුදැයි සිතෙන් සූදානම්වෙමින් සිටියෙමි. මේ ගමන සන්ධ්‍යා සමග පැමිණීම පිළිබඳව පසුතැවීමක් ඇති නො වුනාමත් නොවේ.


දුම්රිය වේදිකාවෙන් පිටවන තැන සුපුරුදු සිනහවෙන් යුතුව දෑත වනමින් ඇය සිටියාය.  මට වඩා උසින් මදක් වැඩි ඇය දැකීමෙන්, ක්ෂණිකවම හීනමානයක් වැනි හැඟීමක් මා සිතට ඇතුලුවිය.
(ආතර් සී ක්ලාක් මහතා හා සමකාලීන විද්‍යා ප්‍රභන්ධ රචකයකු වූ අයිසෙක් අයිසමොව් ගේ කතාවක කියැවූ මෙවැනි සිදුවීමක්  මතකය. අනාගත කාලයේදී වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණෙන ආගන්තුක පිරිසක් පිළිගැනීමට නියමිත ව සිටි, පෘතුවියේ තරුණ අභ්‍යවකාශ විද්‍යාඥයකු, ඔහු සමග පරිගණක තිරය හරහා සන්නිවේදනය  කළ අදාල අභ්‍යවකාශ යානාවේ තරුණියක පිළිබඳව සිතක් පහළකර ගනී. සිත්ගන්නා අයුරින් ගොඩනගා තිබූ එම කතාව අවසන්කර තිබුනේ අභ්‍යවකාශ යානා තොටුපළේ දී ඔවුන්ගේ පළමු හමුව ගැන මෙවැනි සඳහනකිනි "ඇයගේ දණහිස ළඟටවත් උස නැති මා කෙළෙසක නම් මගේ ප්‍රේමය ඇයට ප්‍රකාශ කරන්නද ......? " )

නේවාසිකාගාරයේ සිට පාසල් නිවාඩුවට නිවසට පැමිණෙන තම පුතු වැළඳගන්නා මවක ලෙස මදක් ඉදිරියට නැමී ඈ මා වැළඳ ගත්තාය. මාගේ නෙත නිතැතින්ම යොමුවූයේ සන්ධ්‍යා වෙතය. ඇගේ මුහුණේ එදා තිබූ නොරුස්සනා බැල්ම නොවීය. වේදිකා නාට්‍යයක ප්‍රහසන දසුනක් නරඹන ප්‍රේක්ෂකයකු සේ, සිනහසෙමින් ඈ එම ඓතිහාසික සිදුවීම රස විඳිමින් සිටියාය. අනතුරුව සන්ධ්‍යා , ඇගේ සැමියා සහ දියණියද එකිනෙකාට හඳුන්වාදීමෙන් පසුව මියුනිච් සිට  කි.මී.50 ක් පමණ දකුණු දිගින් වූ ග්‍රොස්වෙල් නම් ඔවුන් විසූ කුඩා නගරය බලා පිටත් වීමු.

ඊ ළඟ දින කීපයේ සිදවීම් ද ඉතා රසවත් නමුත් ඒ දිගු විස්තරය ඔබ වෙත ගෙන ඒමෙන් මෙහි කතා රසය අඩුවෙතැයි සිතමි.


ඔවුන්ගේ නිවසේදී ඉතා උණුසුම් ලෙස අපට සංග්‍රහ කලහ. ඇගේ සැමියා 'තරෙක් ' ඉතා සුහදශීලී විනෝදකාමියකු විය. වත්මන් තරුණ පරපුරට අයත් ඇගේ දියණිය අප හා එකතු වූයේ කිහිප  වතාවක් පමණි.  එම දින හතර සඳහා උල්රිකී  විවිධ ගමන් බිමන් සැළසුම් කරගෙන තිබුණි. ඇගේ දෙමාපියන් සහ සොයුරියගේ නිවෙස් වලට යාම. ඇය ළමා කාළය ගතකළ නිවස, අශ්ව ගම්මානය සහ එකල ඈ ම වෙත ලිපි තැපැල් කළ ලියුම් පෙට්ටිය පෙන්වීමට පවා ඈ උත්සුක වූවාය. ඇගේ පාසල් සමයේ මිතුරියන් කරා ගොස් එකල ඇයට ලිපි ලිවූ පෑනේ මිතුරා මා බවත් අවුරුදු හතලිහකට පසු මුණ ගැසුණු බවත් මහත් ආඩම්බර ලෙස කියා සිටියාය.

උල්රිකී වෙත මුල් කාලයේදී යවන ලද ලිපි සියල්ලම ඈ සුරැකිව තබාගෙන සිටියාය. වාසනාවකට මෙන් මා ළඟ තිබූ ඇයගෙන් ලද සේයා රූ සහ පින්තූර තැපැල් පත් මම රැගෙන ගියෙමි. ම විසින් යවනලද වෙස් මුහුණු බිත්ති සැරසිලි ඇගේ නිවස සරසා තිබිණි. එකල මගෙන් ලද ලිපි හඬනගා සන්ධ්‍ය වෙත කියවමින් ඈ කුඩා දැරියක සේ සතුටු වූවාය. (යෞවන වයසේදී පවා කෙල්ලක වෙත සංයමයෙන් යුතුව ලියුම් ලිවීම පිළිබඳව මම මටම ස්තුති කර ගතිමි.) අධික ලෙස දුම් පානයට පුරුදු වී සිටි තරෙක් අතරින් පතර විහිළුවක් කරමින් අප හා එක්විය.

විශේෂ  ගමනක් ලෙස ඈ අප ඕස්ට්‍රියාවට කැඳවාගෙන ගියාය. වසර දහයකට වතාවක්  මහා පාස්කු සංදර්ශනයක් පැවැත්වෙන ඔබර්මංගවු  ගම්මානයටද, ඇල්පස් කඳුවැටියේ කොටසකටද යාමට අප වාසනාවන්ත වූයෙමු,

එක් විශේෂ සිදුවීමක් මෙහිලා සඳහන් කළ යුතුය. සංචාරක තොරතුරු සෙවීමේදී මියුනිච් නගරයට නුදුරුව නාසි රැඳවුම් කඳවුරක කෞතුකාගාරයක් ඇතිබව දැන සිටියෙමි. බර්ලිනයේදී එම අවස්ථාව නොලද බැවින්, ඇය අප යාමට කැමති තැන් විමසූ අවස්ථාවක 'ඩාහව් ' රැඳවුම් කඳවුර දැක ගැනීමට කැමතිබව දැනුම් දුනිමි. ඒ ඇගේ පියාගේ නිවසේදීය. මා බලවත් අපහසුතාවයකට පත්කරමින් ඔවුන් සියළු දෙනාගේම සොම්නස් සහගතව තිබූ මුහුණු අඳුරු පටලයකින් වැසිණි. තත්වය තේරුම් ගත්තරෙක් අප වෙත කරුණු පහදා දීමට ඉදිරිපත් විය. නාසි යුධ සමය සහ එකල වූ සිදුවීම් අද ජර්මානුවන් කලු ලපයක් ලෙස සලකන බවත් ඒ පිළිබඳව කතාකිරීමට පවා අකැමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. ඉන්පසු මා ඒ ගැන කතා නොකළෙමි. කෙසේ වෙතත් පසුදින තරෙක් සහ උල්රිකී අප එහි කැඳවාගෙන ගියහ.  එහිදී දක්නට ලැබුණු දේ හද කකියවන සුළු විය. බොහෝ සංචාරකයන් පැමිණ සිටි නමුත්, ඒ අතර ජර්මන් ජාතිකයන් නොවීය. පැමිණ සිටි සියල්ලෝම පාහේ විදේශ වලින් පැමිණි යුදෙව් ජාතිකයන් විය. යුද්ධයක අඳුරු සෙවනැලි තව කොතෙක් කලක් අප පසු පස සැරිසරාවිද......?


අගෝස්තු 27 දින, උල්රිකී අප ගුවන් තොටුපළට කැඳවාගෙන විත් සමු දුන්නාය. දින දහයක නොමැකෙන මතක සටහන් සිත්හි දරාගෙන අප මියුනිච් ගුවන් තොටුපලින් පිටත් වී මව්බිම බලා ළඟා වීමු.  අප ආපසු එන තුරු පුතා තණිවම උයාගෙන කමින් නිවස බලාගෙන සිටියේය.

මේ කතාවට අදාලව පසු-කතා දෙකක් ඇත. මෙහිම සඳහන් නොකළහොත් යළි අවස්ථාවක් නොලැබෙන බැවින් මදක් ඉවසන්න.

ඒ දුර්ලබ සොඳුරු සිදුවීම සිහිවන මොහොතක් පාසා ම අප ගුරුතුමා;  'වීරසේකර සර්'  සිහියට නැගුණි අපට වඩා වසර දහයකින්වත් වැඩිමහල් එතුමා විශ්‍රාමිකව කොතැනක හෝ සිටිනවා විය හැක. පාසල් මිතුරන්ගෙන් විමසා බැලූ නමුත් තොරතුරක් සොයාගත නොහැකි විය. එතුමා හමුවී මෙම තොරතුරු දැනුම් නොදුන්නොත් ලොකු අඩුවක් බව මට දැනුණි. දක්ෂ ගුරුවරයකු වූ එතුමා අප විද්‍යාලයෙන් කොළඹ ආන්නදයට මාරු වී ගිය බව මතකය. වර්තමානයේ පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් පමණක් නොව ආදි ගුරු සංගම්ද ඇතිබව අසා ඇත්තෙමි. මම ලිපියක් ලීවෙමි. මා එතුමාගේ ගෝලයකු බවත් එතුමා හමුවීමට අවශ්‍ය බවත් හැකිනම් එම ලිපිය එතුමා වෙතට යොමුකරන ලෙසත් ඉල්ලා මගේ ලිපිනය සහ දුරකතන අංකද සහිතව 'ආනන්ද විද්‍යාලයීය ආදි ගුරු සංගමයේ ලේකම්' නමට; මා සිතින් මවාගත් තනතුරකට, ආනන්ද විද්‍යාලයේ ලිපිනයට තැපැල් කළෙමි.

එම උපක්‍රමය සාර්ථක විය.  සති දෙකකට පමණ පසු බලාපොරොත්තු නොවූ මොහොතක වීරසේකර සර්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. එතුමාගේ පදිංචිය සහ දුරකතන අංක ලබාගත් මා ඊ ළඟ සති අන්තයේම එතුමා සොයා ගොස්, එතුමන් නිසා මා ලද එම සුවිශේෂී අත්දැකීම විස්තර කළෙමි. ජර්මනියෙන් ගෙනා කුඩා ත්‍යාගයක්ද පිළිගන්වා දෙපා නැමද තුති පිදුවෙමි. තම දරුමුණුපුරන් සමග විශ්‍රාම සුවයෙන්  පසුවූ එතුමාගේ දෙණෙත් තෙත්වණු ද  දුටුවෙමි. අප ජීවිතවලට තදින් බලපෑ ආදරණීය ගුරු මා-පිය වරුන් වෙත පිදිය හැකි ඊටත් වඩා වටින ගුරු පඬුරක් වෙත්ද?


දෙවන පසු-කතාව:  අප 'තරෙක් සහ උල්රිකී ' ගෙන් සමු ගනිද්දී  ඔවුනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකිරීමට පැමිණෙන ලෙස ආරාධනා කළෙමු.   ඒ වන විට උල්රිකී සහ සන්ධ්‍යා කුළුපග මිතුරියන් වී සිටියහ. ස්කයිප් හරහා කතා කරද්දී වැඩි කාලයක් ගත වූ යේ ඔවුන් දෙදෙනාටය. ගිම්හාන නිවාඩුව සඳහා 2015 අගෝස්තූ මස ලංකාවට පැමිණීමට අදහස් කරන බව වරක් ඈ සඳහන් කළාය. ඔවුන් සමග යායුතු තැන් සැලසුම් කිරීම සන්ධ්‍යාගේ  ප්‍රමුඛතාවයන්ට ද එක්විනි.  සති කිහිපයකට පෙර උල්රිකී පැවසූවේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙම අගෝස්තුවේදී නොපැමිණෙන බවත් 2016 වසරේදී පැමිණීමට අදහස් කරන බවත්ය. වඩාත් කණගාටුවට පත් වූයේ මා නොව සන්ධ්‍යාය.........






You Might Also Like

0 comments