නමක් සහ මතකයන් හතරක් .......

6/13/2018


‘කූඤ්ඤ’  ‘Coonghe’

කූඤ්ඤයන වචනය දුටු පමණින්, ඇසුණු පමණින් ඔබට සිහියට නැගෙන්නේ කුමක් ද? 

මේ ශ්‍රී ලාංකික පුද්ගල නාමයන්, නැතහොත් වාසගම්, අතර ඇති එක් නමක් බව ඔබ දන්නවාද? 

ශ්‍රී ලාංකිකයන් අතර ‘කූඤ්ඤ’  (Coonghe) වාසගම සහිත පවුල් ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් විය යුතුය. Telecom දුරකථන නාමාවලිය තුල ඇත්තේ සියයක පමණ සංඛ්‍යාවකි. Google හරහා සෙවීමේදී මූලිකව මතුවූයේ සීදූවේ ඩැරල් කූඤ්ඤ පියතුමාගේ දේශන පිලිබඳ තොරතුරුයි. මෙම වාසගම සහිත ලාංකිකයන් දෙදෙනෙකු ගැන මම දනිමි. අප ආයතනයේ ම  සේවය කළ  Mr.Coonghe ඉන් එක් අයෙකි. මගේ විශ්‍රාමික දිවියට ලොකු බලපෑමක් කළ තවත් Coonghe කෙනෙකු සිටින බව මා දුටුවේ පැරණි ලිපිගොනුවක් තුලින් මෑතකදී යලි ඇස ගැටුන, පුවත්පත් තීරු ලිපියකිණි.

      

( I )

පෘතුගීසී අභාෂයෙන් අප ලද  ‘පෙරේරා’, ‘සිල්වා’, ‘ප්‍රනාන්දු’, ‘ඩයස්’, ‘අල්මේදා’, ‘අල්විස්’, ‘සේරම්’, ‘පීරිස්’ ආදී නම් සමග ‘කූඤ්ඤ’ යන නාමයද අප සමාජයට එකතු වන්නට ඇති බවයි මගේ අදහස. මෙලෙසම අඩුවෙන් අසන්නට ලැබෙන වාසගම් වන, ‘Beauchump’, ‘Croon’, ‘Hanibal’ ‘Janze’, ‘Lesthuruge’, ‘Lowe’,  ‘Reeives’, ආදී නම් සහිත අය ද මා හිතවත් දන්නා කියන අය අතර සිටී. Beauchump යන්න ප්‍රංශ සම්භවයක් සහිත නමක් බවයි මා අසා ඇත්තේ.  පියාගෙන් මා ලද මගේ සම්පුර්ණ නම තුලද ‘දොන්’(Don) යන කොටසක් ඇත. මගේ මවගේ පියා ජෙම්මා ප්‍රනාන්දු නම් වේ.

Yasmine Goonaratne, බණ්ඩාරනායක පවුල් පෙළපතේ සාමාජිකාවකි. ඇය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ඥාති සොහොයුරියකි. 19 සියවස අගදී පහත රට ලංකික වංශාවලියේ ඉහලම තලයේ සිටි තම පවුල් ජාලය පිළිබඳව ඇය අතින් ලියැවුණු පොතක වූ හාස්‍ය කතාවක් මා  සිහියට නැගුණි. මගේ මතකයෙන් එය කියනවාට වඩා උපුටා දැක්වීම රසවත් බැවින් යලිත් එම පොත සොයාගොස් පිටපත්කර ගතිමි. ‘Personal Merits’ A personal memoir of the Bandaranaike family of Sri Lanka (1986); නම් එම පොතෙහි සිංහල අනුවාදයක් ද මා කියවා ඇති බවට මතකයේ ඇත.

මුතුන් මිත්තන් ගැන ‘පෙරවදන’ ඇය ආරම්භ කරන්නේ තම ළමා කල, ඥාති සොයුරු සොයුරියන්  වටකරගෙන ඇගේ පියා කී රසවත් කතා පොඩ්ඩක මතකයකිනි.

{“Once up on a time a very very long time ago, in the ancient Kingdom of Kandy…….”, said my father “…….. there was a King. And while this King was taking his mid day meal, he called for his usual refreshment of ‘ra’ (toddy). A courtier hastened forward and poured out a draught for His Majesty. But he was careless, and when the King raised the golden goblet to his august lips he found a fly floating on the surface. Turning to the trembling courtier, and using the contemptuous mood, His Majesty said “Pera- ra!” (Strain that toddy!).
The Courtier obeyed the order, but in his confusion he accidentally spilled some toddy on the ground beside the King, who beckoned to another court official, a kinsman of the clumsy one “Leva- ra!  (Lick up that toddy!), said his Majesty, pointing at the floor. And that….” finished my father draining his own glass and placing it on the grass beside his chair, “…..was how our clan names of Perera and Livera took their origin.”
‘But Uncle’ protested a small boy in the circle that had gathered round him, “That story can’t be true. Perera and Livera aren’t Kandyan names. They are Portuguese”
‘And what is that suppose to prove?’
‘Well….’ said the learned child, who excelled in history at Royal College, ’Sinhalese people took on Portuguese names like Perera, Livera and Dias by turning Catholic, so those courtiers couldn’t have been serving a Kandyan Buddhist King. The dates aren’t right.’              
My father graciously accepted a fresh glass and turned to his nephew:
 “Why putha…… ,” he said sadly, “do you have to spoil perfectly good story?”}

අනතුරුව ඇය පටන් ගන්නේ, 
At home we were Bandaranaike. At school and abroad we were Dias.……” යනුවෙනි.


   

( II )

මා කියන්නට සුදානම් වූයේ  මා දන්නා ‘කූඤ්ඤ’ නම සහිත අය පිලිබඳවය. සුපුරුදු පරිදි මගේ ළමා කාලයෙන් පටන් ගනිමු. එකල අප වෙත වූ තොරතුරු දැනගැනීමේ මාධ්‍යය වූයේ මුද්‍රිත පොත පත  සහ ගුවන්විදුලියයි. එම තොරතුරු නැවත ප්‍රයෝජනය සඳහා සුරක්ෂිත (store) කර ගත්තේද පොත් තුලමය. ගුවන් විදුලියෙන් ඇසෙන විශේෂ තොරතුරක් ලියා ගැනීමට පොතක් වූ අතර, පුවත්පත් වල වූ වැදගත් තොරතුරු ඇතුලත් කොටස් කපා අලවා තබාගැනීමට පැරණි අභ්‍යාස පොතක් හෝ අපට අදාල නොවන ඉංග්‍රීසි සඟරාවක් වැනි දෙයක් යොදා ගතිමු. ‘ලෝකයේ දිගම ගංගා’, ‘ලෝකයේ උසම කඳු’, ‘රට රට වල අගනුවර’ වැනි තොරතුරු ‘ඔබ දන්නවාද?’ උදෘතය යටතේ ජාතික පුවත් පත් ළමා පිටු තුල සහ ‘ටිකිරි’ සහ ‘මිහිර’ වැනි එකල වූ ළමා පත්තර තුල නිබඳව දුටු දේය. මා මේ උරුමය ලැබුවේ මගේ අක්කා සහ අයියා වෙතිනි. සෑම දරුවෙකු තුලම මෙම පුරුද්ද නොවූවද අධ්‍යයන මගක් සහ විනෝදාංශයක් ලෙස අප බොහෝ දෙනෙක් එය තරඟකාරීව කරගෙන ගියෙමු. තරුණ සහ වැඩිහිටි වියේ දී මෙන්ම අදටත් මෙම පුරුද්ද මා තුල ඇත. වටිනා කියමනක් හෝ වැදගත් අදහසක් සහිත ලිපියක් වෙන් කොට තබා ගැනීම නිතැතින් ම සිදුවේ. මා කියවන පොතක ඇති වටිනා අදහස් සහ කියමන් අවශ්‍ය විටෙක යලි කියවීම සඳහා භාවිතයට නොගත් ‘විධායක’ දිනපොතක සටහන් කර තබා ගනිමි.

මේ සමග ඇති සේයාරුවේ  තීරු ලිපිය ගැනයි මා මේ ලියන්නේ. එම ලිපිය පළවුණේ කවදාද? කුමන පුවත්පතේද? යන්න සඳහන් කර ගැනීමට එදා උනන්දු නොවීම ගැන අද ඇත්තේ පසුතැවිමකි. එහි පණිවිඩය හදවතින්ම වැළඳ ගත්තා හැරෙන්නට මේ වයසේදී මෙවැන්නක් ලිවීමට සිහිනෙකින් හෝ අදහසක් එදා මා තුල නොවිණි. එය Daily News හෝ Observer පුවත් පතක ළමා පිටුවේ පළවූවක් විය යුතුය. දින වකවානු ගැන කිසිම අදහසක් නොමැත. අවුරුදු 30ක් හෝ 40 කට පෙර වීමටද ඉඩ ඇත. මගේ සිත තුලට එදා කිඳා බැස්සේ එහි අදහසයි. ළමා වියේදී මා ක්‍රීඩා සඳහා යොමු නොවුනාම නොවේ. එහෙත් සීමිත මිතුරන් පිරිසක් පමණක් සිටි මා පොත පත කියවීම තුලින් වැඩි ආශ්වාදයක් ලැබීමට ඇබ්බැහි වි සිටියෙමි.

මා වැනි පොත් ගුල්ලෙකුට (විභාග සමත් වීම සඳහා විෂයය අනුබද්ධිත පොත් පත් වල ගැලී සිටින පොත් ගුල්ලෙකු  නොවේ) මෙම ලිපියේ Books are the most faithful friends” යන මාතෘකාව ම කෙතරම් අකර්ශණියද? එහි පළමු ඡේදයම මට මගේ විශ්‍රාමික දිවිමගට අරුතක් ලබා දුන්නා නොවේදැයි අද හොඳින්ම පැහැදිලි වී ඇත.

“The man, who acquires the habit of reading when he is young, is a happy man as he has secured a lifelong source of pleasure, instructions and inspiration. So long as he has his beloved books, he never needs to feel lonely.”

සමහර විට මෙම අදහස දිගු කාලයක සිට ලොව පොත් කියවන ජනතාවගේ උදෘතපාඨයක් වන්නට ඇත. නමුත් මා මුලින්ම දුටුවේත් අනාගතයට ප්‍රයෝජන ගත හැකි අදහසක් බව දැනුනේත් එදාය. එම පාඨයට මම මගේ අදහසද  සිතින් එක් කරමි.  “ as long as his eye sight is good......

මෙම ලිපියේ ලේඛකයා  කවුරුන්දැයි බලන්නට උනන්දු වුයේ පසුගියදා යලිත් එය මා අතට පත් වූ විටය. මගේ පුදුමයට මෙන් ඔහු හෝ ඇය ද ‘කූඤ්ඤ’  (Coonghe) නමින් යුතුවූවෙකි. මගේ පැරණි හිතවතා ගැන මතකයද හිතට නැගුනේ නිතැතිණි.

Nimmi Coonghe, Negombo ලෙස වූ එම හැඳින්වීම මත ඒ පුරුෂයෙකු හෝ කාන්තාවක බව හඳුනාගැනීමට නොහැකි විය. එම ලිපියේ වූ භාෂා විලාශය අනුව ඉංගිරිසිය පිලිබඳ මනා දැනුමක් සහ එය පැහැදිලි ලෙස හැසිරවිය හැකි අයෙකු බවට තර්කයක් නොමැත. ඔහු හෝ ඇය ඉංග්‍රීසි ගුරුවරයෙකු හෝ ගුරුවරියෙකු  විය යුතුය යන අදහසය පළමුව මවෙත නැගුණේ. නොඑසේ නම් වෘතිය ලේඛකයකු හෝ ඉංග්‍රීසි මාධ්‍ය  පුවත්පත් කලාවේදියෙකු විය යුතු යයි සිතීමට හැක. නැතිනම් එය ඉංග්‍රීසි සහිත පවුල් පසුබිමක වැඩුණු එවකට දක්ෂ දරුවකු හෝ දැරියක අතින් ලියැවුන රචනාවක් ද විය හැකිය.

අමුණා ඇති සේයා පිටපත පැහැදිලිව කියවීමට හැකි බැවින් මුළු ලිපිය මෙහි පිටපත් නොකරමි.


අද මා ගෙවන සැහැල්ලු, තෘප්තිමත් දිවියට එක් ප්‍රධාන හේතුවක් නම් මෙම ලිපිය මා තුල ඇතිකළ බලපෑම යයි කීම අසත්‍යයක් නොවේ.

  


( III )

තරුණයෙකු ලෙස රැකියාවට එක් වෙද්දී මට ඇසුරු කිරීමට ලැබුණේ විවිධ වයස් කාණ්ඩ වලට අයත් මට වඩා වයසින් වැඩි සගයන් පිරිසකි. එකට ඇසුරු කළ ඒ වෘත්තීය සගයන් විවිධ පළාත් වලින්, ආගමික සහ සමාජ පසුබිම් වලින් ආ අය වූහ. ඒ අතර නිලමේලා ද, බණ්ඩා ලාද, හාමු ලාද, අප්පුහාමි ලාද, නයිදේ ලාද, නාන ලාද, ලංසි ද , දෙමළුද , තම්බි ද, මැලේ ද, බයියෝ ද ආදී වශයෙන් විවිධ අය විය. උඩරට, පහත රට, දකුණේ, වන්නියේ, මූදුකරේ, යාපනේ, වතුකරේ,  මඩකලපුවේ ආදී විවිධ පළාත් වලින් පැමිණි අය විය. සමහර විටෙක එකිනෙකාගේ ජාතිය, ආගම, කුල-මල වැනි සංවේදී කරුණු ගැන පවා සඳහන් කරමින් විහිලු තහළු කරගැනීම ඔවුනතර සාමාන්‍ය සිදුවීමක් විය. එවැනි අවස්ථා වලදී ඒ මොහොතට සරළ වින්දනයක් ලැබුවද කිසිවකු හෝ ඒ ගැන අමනාප වන බවක් මතුපිටින් නොදුටුවෙමි. සමහර විට මුළු සේවා කාලයම එකම ආයතනයක සේවය කළ ඔවුහු සහෝදර පිරිසක් වැනි විය.

ඒ 1980 ට පෙර කාලයයි. 71 දී රටේ මතුවූ නොසන්සුන් කම් අමතක වෙමින් තිබූ කාලයයි. උතුරේ කලබල ද මතුවී නොතිබුණි.

වින්සර් කුරේ (Windzer Coorey ) ඔවුන් අතරින් කෙනෙකි. මට වඩා වසර කිහිපයකින් ජ්‍යෙෂ්ට වෘත්තීය සගයෙකි. නම යුරෝපීය ඌරුවක් ගත්තද ඔහු නියම සිංහල බෞද්ධයෙකි. ආගමික, ජාතික හෝ වෘතීය ප්‍රශ්න වලදී ආවේගශීලි සටන්කාමීයෙකි. අප ඔහුව ඇමතුවේ වින්ඩ්සර් නමිනි. තම වාසගම පිළිබඳව තවත් ආකාරයක හාස්‍ය ජනක කතාවක් ඔහු සතුවිය.

“පරංගි මුහුදු බඩ යටත් කර ගත්ත කාලේ ඔවුන්ගේ ආගමට හැරුණු සිංහල මිනිස්සුන්ට පෘතුගීසී වාසගම් දෙන්න අණ බෙරයක් යවල තියනවා. අපේ කිරි කෑ මුත්තා ආගම වෙනස් කරන්න කැමති වෙලා නැහැ. අනෙක් අයගේ බලකිරීම උඩත් ලැබෙන වරප්‍රසාද ත් ගැන හිතල නමක් ගන්න යන්න තීරණය කළාලු. පමා වෙලා ඒ ඔපීසියට යන කොට නම් දීලා ඉවරලු. බයේ බයේ පරංගිය ළඟට ගියාලු. පරංගියා මොන මොනවද කිවලු. තව ටිකක් වෙලා ඉන්න කොට ‘කුරා’, ‘කුරා’ කියල තරහින් වගේ කිවලු. මුත්තා හිතුවලු එයාට දුන්න නම ‘කුරා’ කියලා බොහොම සතුටින් ගෙදර ඇවිත් ඒ නම පාවිච්චි කළාලු...... පෘතුගීසී බාසාවෙන් ‘කුරා’ කියන්නේ ‘පලයන්’ කියන අදහසලු. පරංගියා පලයන් කියල එලවා ගත්ත එක අපේ පරපුරේ වාසගම වුනාලු......”

‘කූඤ්ඤ මහතා’  (Mr. Coonghe) අප සේවාස්ථානයේ ගබඩා අංශයට මාරුවීමක් ලබා පැමිණියේ විශ්‍රාම යාමට ආසන්න වයසකදීය. අපට නුහුරු ඔහුගේ නම, සාමාන්‍යම නොවූ පෙනුම සහ මදක් හාස්‍යය දනවන හැසිරීම් රටාව නිසා ඔහු පිළිබඳව ද විහිළු අදහස් පහලවූ නමුත් වැඩිමහල්කම වෙත වූ ගරුසරුව නිසා එතුමා ඉදිරිපිටදී අප අතර වූ ආකාරයේ විහිලු තහළු සිදු නොවිණි. රාජකාරි වශයෙන් ඉතා සුහදශීලි පුද්ගලයෙකු වූ කූඤ්ඤ මහතා ටික කලකදීම ආයතනයේ සැමගේ සිත් දිනාගත් හිතවතෙකු විය.

දිනක් වින්ඩ්සර් සමග මා ආපනශාලාවේ තේ පානය කරමින් සිටිද්දී  තේ කෝප්පයක් ද රැගෙන අසුන් ගැනීමට තැනක් සොයමින් යන කූඤ්ඤ මහතා දුටුවෙමි. අප සිටි තැන ඉඩ තිබුණු බැවින් ක්ෂණිකව නැගී සිටි මා එතුමා ව අපගේ මේසයට කැඳවිමි. මගේ ඇරයුම අනුව සිනාමුසුව අප දෙසට ආ ඔහු වින්ඩ්සර් සිටින බව දුටු සැනින් නොරුස්සනා මුහුණක් මවාගෙන ඈතින් වූ වෙනත් මේසයක් වෙත ගොස් වාඩි විය. “ඔය මනුස්සයට මාව පෙන්නන්න බැහැ...... මගෙත් වැරැද්ද...... මම පස්සේ කියන්නම්කො ඇයි කියල.......”  එසේ කියා තේ පානය අවසන් කළ වින්ඩ්සර් මා සමග ආපන ශාලාවෙන් පිටතට පැමිණියේය.

වින්ඩ්සර් මට පසුව කී කතාව මෙයයි. එකල අප දෙපාර්තමේන්තුවේ අය වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙතින් ඉඳ හිට ලැබෙන වරප්‍රසාදයකි විදේශ පුහුණුවීම් නොහොත් අධිශිෂ්‍යත්ව (Fellowships). ඒ බොහෝවිට ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි දකුණු ආසියානු රටවලටය. සති දෙකක, මාසයක හෝ තෙමසක කාලයකට සීමා වන එවන් අවස්ථා ලොතරැයියක් දිනුවා සේ අප අගය කළෙමු.

සේවාවේ ජ්‍යෙෂ්ටයකු වූ වින්ඩ්සර් හට යාමට අවස්ථාව ලැබී ඇත්තේ තායිලන්තයටය. තායිලන්ත WHO කාර්යාලයට වාර්තා කර සුදුසු නවාතැනක් සොයාගෙන තම පුහුණු කටයුතු ආරම්භ කළ වින්ඩ්සර්ට දිනක් WHO කාර්යාලයේ සම්බන්ධිකාරක නිලධාරණිය දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී ඇත්තේ ඔහු දන්නා හඳුනන ලාංකිකයෙකු ඔහුව හමුවීමට එදින සවස එම ආයතනයට පැමිණෙන බවයි. අප දෙපාර්තමේන්තුවේම සේවය කළ දාබරේ මහතා (දාබරේ යන නාමයද විදෙස් ඌරුවක් ඇති නමකි) කෙටි කාලීන පුහුණුවක් සඳහා බැංකොක් නුවරට පැමිණ WHO කාර්යාලයට වාර්තා කළ අවස්ථාවේ එහි විදෙස් ශිෂ්‍යත්වලාභීන් ගැන සඳහන් දැන්වීම් පුවරුවක වින්ඩ්සර් ගේ නම දැක ඔහු සිටින ආයතනය ගැන තොරතුරු විමසා දුන් පණිවිඩයකි ඒ. විදෙස් රටක කෙටි කලක් සිටිද්දී තම රටේ  තමන්ගේම මිතුරෙකු හමුවිම සිතට ලොකු හයියකි. දාබරේ ඉතා සමාජ ශීලී කා සමගත් මිත්‍රශීලීව ඇසුරු කරන සැහැල්ලු චරිතයකි.

එදින සවස හමුවීමේදී ඉතා සතුටින් වැළඳගෙන

“අඩෝ... කොහොමද මචාන්.....?” 

ආදී වශයෙන් සුපුරුදු මව් බසින් ආචාර සමාචාර කර ගැනීමෙන් අනතුරුව දාබරේ ,

“This is Mr. Coonghe.... a WHO fellow....” යනුවෙන් තමා සමග සිටි අනෙක් පුද්ගලයාව ඉංග්‍රීසි බසින් හඳුන්වා දුන්නේලු. ගමන් විස්තර, නවාතැන් ආදිය ගැන කතා කරන අතර නිහඬව සිටි අනෙක් පුද්ගලයා ගේ පෙනුමේ සහ හැසිරීමේ අමුත්ත නිසාම ඔහු ගැන තොරතුරු දැනගැනීමේ කුතුහලය වින්ඩ්සර් තුල මතුවී ඇත.

 “කොහෙන්ද බං උඹට මේ හැලි වඳුරෙක් වගේ හොල්මනක් සෙට් උනේ?” යයි සිංහලෙන් විමසා ඇත්තේ උපහාසයට මෙනි. ඒ වචන පිටවූ සැනින් අපහසු තාවයට පත් දාබරේ සිංහලෙන්ම පිළිතුරු දී ඇත්තේ

“යකෝ ... මූත් අපේ එකෙක් ... ලංකාවේ” යනුවෙනි.

කූඤ්ඤ මහතාගේ මුහුණ කළු වී ගිය අතර අප මිත්‍ර වින්ඩ්සර් ට ‘පොළොව පලාගෙන යන්න ඇත්නම් හොඳ යැ’ යි  සිතුනේලු.

එදා ඒ සිදුවීම නිසා පලුදු වූ සිත් ඊට වසර ගණනාවකට පසුව එකම ආයතනයක සේවය කරද්දීත් යලි හොඳ හිත ගොඩනගා ගන්න බැරි තත්වයටම පත් වී ඇත. සැබවින්ම ‘කූඤ්ඤ’ යන නම වින්ඩ්සර් පළමු වරට අසා ඇත්තේ එදාය. ඒ ලාංකිකයෙකු යයි මොහොතකටවත් වින්ඩ්සර් සිතට නැගී නොමැත.
තමා ඉදිරිපිටම තමාට නො වැටහේ යයි සිතා තමාව සිනහවට ලක් කිරීම ඉවසා ගැනීම හෝ අමතක කර දැමීම එතරම් පහසු කාරණයක් ම නොවේ...... 

  


( IV )

මේ හා යම් සමානකමක් දක්වන තවත් සිදුවීමක් මට අසන්නට ලැබුනේ මගේ පුත්‍රයා වෙතිනි. පුතා මේ කතාව මා හා පවසද්දී, ඔහු ගේ දෙනෙත තුලින් මා දුටුවේ නිවැරදි කළ නොහැකි වරදක කොටස් කාරයෙකු බවට පත් අයෙකු තුල වූ මහා පසුතැවිල්ලයි. එම සිදුවීම මේ අකාර විය.

ඔහු උගත්තේ නගරයේ උසස් යයි සම්මත පුද්ගලික පාසලකය. අමාත්‍යංශයේ නිර්දේශයන්ට අනුකුලව රජයේ පාසල් හා සමගාමිව අධ්‍යාපන කටයුතු සිදු කෙරුණු මෙහි වෙනසකට වුයේ ගාස්තු අයකිරීම පමණකි. සිංහල මාධ්‍යයෙන් උගත්ත ද පහළ පන්ති වල සිටම ඉංග්‍රීසි පසුබිමක හැදෙන මෙම පාසලේ දරුවෝ පැකිලීමකින් තොරව ඉංග්‍රීසි මාධ්‍යයෙන් එදිනෙදා කටයුතු කරගෙන යාමේ හැකියාවක් ලබා ගනී.

ඒ ඔවුන්ගේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට මුහුණ දෙන වසරයි. අධ්‍යාපනයේ කඩ ඉම්, විභාගය නිසා ඇති පීඩනය, නොසන්සුන්කම, දඟකාර වයස, නවයොවුන් විය ආදී වූ විවිධ සාධක නිසා හරි වැරැද්ද නොබලා සාමුහික අත්හදා බැලීම් හෝ අවදානම් ගැනීම් සඳහා පෙළඹීම මේ වයස පසුකල අප සැම අත්විඳින්නට ඇතුවාට සැක නැත. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට පෙනී සිටීමට සූදානම් වී සිටියද  සෑහෙන කාලයක් යන තුරුම ඒ සඳහා ස්ථිර ගුරුවරයෙකු නොමැති වීම ඔවුනට ප්‍රශ්නයක් විය. පාසලේ දඟකාර පන්තියක් ලෙස නමක් දිනා සිටි මෙම පන්තියට උගැන්විම සමහර තරුණ ගුරැ මෙනවියන් විසින්ද එකහෙලා ප්‍රත්ක්ෂේප කර ඇත. තත්වය එසේ වුවද ඔවුන් කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව බාහිර ගුරු හරුකම් ලබමින් එම විෂයය සඳහා සූදානම් වෙමින් සිටි බවද නොරහසකි.

අයිතිවාසිකම් වෙනුවෙන් සහ අසාධාරණයට එරෙහිව නැගීසිටීමේ ජවය මතුවෙමින් පැවති වයසේ සිටි මොවුහු අංශ බාර ගුරුතුමා වෙතද අනතුරුව නියෝජ්‍ය විදුහල්පති තුමා වෙතද අවසානයේදී විදුහල්පති තුමා වෙතද තමන්ට සිදුවන අසාධාරණය ගැන කරුණු ඉදිරිපත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස මොවුන් වෙත ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය සඳහා ගුරුවරයෙකු ලැබුණි. දිනක් අංශ බාර ගුරුතුමා වයස අවුරුදු 30 ක පමණ අහිංසක පෙනුමකින් යුතු ගුරුවරයකු සමග පැමිණ ඔහු පන්තියට හඳුන්වා දී ඇත.

“Here is your new English Litreture teacher... Mr. Amarapala”

අලුත් ගුරුතුමාගේ බාහිර පෙනුම, ඇඳුම මෙන්ම නම ද මේ දඩබ්බර කොලුවනට හාස්‍යය දනවන කරුණු විය. මොහොතකින් ගුරුවරයා සඳහා යෝජිත විකට නම් දෙක තුනක් ඔවුන් අතරින් මතුවුනි.

“Good Morning children …….! I am your new Literature teacher………….. The Principal told me that you did not have a teacher for English Litreture. I will do my best to teach you this subject before the O/L examination……. First of all I want to know your names ……..”

 .... ආදී වශයෙන් ව්‍යාකරණානුකූල ඉංගිරිසියෙන් එහෙත් එතරම් නිවැරදි නොවන උච්චාරණයකින් පවසමින්, සිසුන් හඳුනා ගැනීම මෙන්ම ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳව අදහසක් ලබා ගැනීමේ අරමුණින් තොරතුරු විමසීම ආරම්භ කර ඇත. යන්තම් ඇටෙන් පොත්තෙන් මිදුනු දා සිටම ‘Elocution’, ‘Speech’, ‘Shakespeare Drama’ ආදී මෙකී, නොකී සියලු ‘classes’ සහ ‘compitions’ ආදියෙන් පන්නරය ලබා සිටි මොවුනට අලුත් ගුරුවරයාගේ අඩුපාඩුව ක්ෂණයකින් ම දැනෙන්නට ඇත. සඟවාගත් සිනහවෙන් යුතුව අලුත් තත්වයට මුහුණ දීමට පෙළගැසෙන්නට ඇත. (වැඩිහිටි වයසේදී ඉංගිරිසිය උගත් මට අදටත් ඉංගිරිසි වචන උච්චාරණය ගැටලුවකි. ‘for’ සහ ‘four’ යන වචනවල නිවැරදි උච්චාරණ වෙනස මට පැහැදිලි කර දීමට කිහිප වතාවක්ම උත්සාහ කළ මා පුත්‍රයා පසුව ඒ අදහස අත් හැර දැමීය.)

“Yes, you at the last row … What is your name?”

අමරපාල මහතා පටන් ගත්තේ වැරදි කෙලවරිනි. එහි වුයේ පන්තියේ සිටි සෙල්ලක්කාර  දඩබ්බර සිසුවෙකි.

“Sir…, I is…. my name… sir…. Ajith … sir”  පිළිතුර ලැබුනේ බොහෝ අපහසුවෙන් ගැටගසා ගත් වචන කිහිපයකිනි.

Next…?  ඒ සුන්දර  ආරම්භය දිගටම ගෙනයාමට කොලුවෝ පසුබට නොවුහ.

“Sir…, I name… my is…. Kasun sir…. ”

“Name my is Thusith sir”

“Charith Name my”  ආදී වූ විවිධාකාරයෙන් පිළිතුරු දීමට අනෙක් සිසුහු සැරසී සිටියහ.

නම් ඇසීමෙන් ලද කම්පනයත් සමග වුවද මොවුන්ගේ කියවීමේ සහ තේරුම් ගැනීමේ හැකියාව දැනගනිම ගුරුවරයාගේ ඊළඟ පියවර විය. සිසුන් කිහිප දෙනෙකු ලවා ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා නිර්දේශිත පොතක කොටසක් කියවීමට දීම තුලින් ඒ අවබෝධය ලබා ගැනීමට යාමේදී ඔහු මුහුණ දුන්නේ ඊටත් වඩා අපහසු තාවයකටය. George Eliot ගේ 'The Mill on the Floss' කියැවුනේ 'ද මිල්..ල් ඔන ද පො..ලොස්..' ලෙසය. 'snare' - ස්..නා..රේ..' ලෙසද,  ‘but’ – ‘බුට්’ ලෙසද, ‘national’ – ‘නැටි ඔනල්’ ලෙසද ආදී වශයෙන් මවාගත් අපහසුවක් පෙන්වා කියවීම්, මෙන්ම “සර්, මේ වචනේ මොකක්ද?” “මේ වචනේ කියවන්න තේරෙන්නේ නැහැ” යනුවෙන් විමසමින් ද උපරිම විනෝදයක් තම සහෝදර සිසුන්වෙත සැපයීමට ඔවුහු පසුබට නොවුහ.
 
අවාසනාවකට මෙන් කුමක් හෝ හේතුවක් නිසා සිදුවන දේ තේරුම් ගැනීමට අමරපාල මහතාට නොහැකිවිය. ඔහුගේ සිත අනුකම්පාවෙන් පිරීගිය අතර ගුරු භුමිකාවේ වගකීම සහ යුතුකම අනුව මේ දරුවන් වෙනුවෙන් කැපවී සේවය කළ යුතු බවට උදාර අරමුණක් ඔහු සිත තුල මතුවන්නට ඇත. කාලපරිච්ඡේදය අවසන් වීමත් සමග සිසුන්ගෙන් සමුගත් අමරපාල මහතා පන්තියෙන් ඉවත්ව ගියේ මේ දරුවනට ඉංග්‍රීසි සාහිත්‍යයය ඉගැන්වීමේ අභියෝගය කෙසේ ජයගත හැකිදැයි සිතමිනි.

තම හපන්කම් ගැන ඉහලින්ම ආඩම්බර වූ කොලු රැලට නම් එදා දවසේ ඉතිරි කොටස සිනා සාගරයක් ම විය. 
පසුදින ඉංග්‍රීසි සාහිත්‍යය කාලපරිච්ඡේදයේ දී අමරපාල මහතා පන්තියට පැමිණියේ තම සැලසුම පිළිබඳව පැහැදිලි තීරණයක් ද ඇතිවය. හොඳින් වටහා දීම සඳහා පැහැදිලි සිංහලෙන්ම දරුවන් ඇමතු ඔහු:

“පුතාල Litreture කරන්න ඔයාලගේ ඉංග්‍රීසි දැනීම ටිකක් මදි. බයවෙන්න එපා මම කොහොම හරි  මහන්සිවෙලා ඔයාලව ඒ මට්ටමට ගන්නම්. හවස් වරුවෙයි weekends වලයි මම ඔයලට උගන්වන්නම්........ මුදල් වලට නෙමේ...... මට සල්ලි එපා.... මට ඕනෑ ඔයාලව ගොඩ දාන්න. හැබැයි ඔයාලගේ පැත්තෙන් ගොඩක් මහන්සි වෙන්න වෙනවා........මම principal එක්ක කතා කරලා permission ගන්නම්.......” 
මෙසේ පවසා අමතක වූ යමක් රැගෙන ඒම සඳහා ගුරුකාමරයට ගියේ ඒ අවසරය තුල රස සාගරයේ ගිලීමට කොලුවන් ට තවත් අවස්ථාවක් ලබා දෙමිනි.

ඒ අවස්ථාවේ දී පන්ති පෙළ අසලින් ගමන්කරමින් සිටි අංශ භාර ගුරුතුමා මුන්ගේ කෑ කොස්සන් හඬ ඇසී පන්තියට පැමිණ තරවටුවෙන් ඔවුන් නිශ්ශබ්ද කර, එම කාලපරිච්ඡේදය ට අදාල විෂයය සහ ගුරුතුමා ගැනද විමසා සති අන්තයට යෙදී තිබූ පාසල් උත්සවයක් සම්බන්ධව පන්තියේ සුදානම විමසන්නට විය. ඒ වෙනුවෙන් තම පන්තියේ කෙරීගෙන යන වැඩපිළිවෙල සම්බන්ධව මුල්ගුරුත්මා සමග සුපුරුදු ඉංගිරිසියෙන් සකච්චා කරමින් සිටිද්දී ය අමරපාල මහතා ආපසු පැමිණියේ. 

පන්තියේ සිදුවන කතාබහට පිටතින් සිට සවන්දුන් අමරපාල මහතාට අමුත්තක් දැනුනි.
අමරපාල මහතා ආපසු පැමිණ ඇති බව දුටු අංශ භාර ගුරුතුමා;

Sorry Mr. Amarapala, I have taken your class for a while…….,” 

පවසා නැවතත් ඔහුට පන්තිය බාර දී ඉවත්විය. අංශ භාර ගුරුතුමා සමග වූ තම සංවාදය අලුත් ගුරුතුමා අසා සිටි බව සිසුන් දුටුවේ ද ඒ මොහොතේය. තම රඟපෑම හෙළි වූ බව දුටු ඔවුනට අමරපාල මහතාට මුහුණ දිය යුත්තේ කෙසේ ද කියා සිතාගත නොහැකි විය.

අමරපාල මහතාගේ සිතුවිලි ඊටත් වඩා කණගාටු දායක විය. තමා අනුකම්පාවෙන්, කරුණාවෙන් සැලකූ මෙම කොලු නඩය එකතුව තමන් විහිලුවකට ලක්කළ බවත්, තමාගේ වයසින් අඩකටත් අඩු වයසින් යුතු වූ ඔවුනට තමන් බරපතල ලෙස රැවටුන බවත් පැහැදිලිය. තම දෙපා වෙවුලන බවත් සියලු දෙන ඉදිරියේ නිරුවත් වූ අයෙකු බවත්, යලිත් මොවුනට මුහුණ දීමට නොහැකි ආකාරයට ම තමා ලජ්ජාවට පත්වී ඇති බවත් දැනුනි.

තමා ඉදිරිපිට බිම බලාගෙන සිටින මෙම දරුවනට කුමක් කිව යුතුදැයි සිතා ගැනීමට ඔහුට නොහැකි විය. නිහඬව පන්තියෙන් පිටවූ ඔහු ගුරු කාමරය දෙසට පිය නැගීය. අමරපාල මහතා ගේ එම පාසලේ ගුරු සේවයේ දෙවන සහ අවසාන දිනය ද එදා විය.

මා පුත්‍රයා ට අනුව එදිනට පසු ඔවුන් අමරපාල මහතා දැක නැත. තමන් අතින් සිදුවූ ඒ නිවැරදි කළ නොහැකි වරද සම්බන්ධව මුළු පන්තියම දුක් වූ බවත් ඉන් පසු කිසි දිනක එම සිදුවීම ගැන කතා නොකළ බවත්ය ඔහු වෙතින් කියවුනේ.
     

“Never make fun of someone if they mispronounce a word. It means they learned it by reading.”
මේ සිදුවීම් පෙළෙහි මට පැහැදිලි නැති එක් දෙයක් නම් එවන් ගුරුවරයකු එම පාසලට බඳවා ගැනීමට පියවර ගත්තේ ඇයිද යන්නයි. අධ්‍යාපනික සුදුසුකම් නොවුවානම් කිසි ලෙසකත් ඔහු තෝරා නොගන්නවා ඇත. සමහර විට ඔහු කැපවීමෙන් සහ උත්සාහයෙන් ඉගෙනගෙන  ඉංගිරිසි උපාධියක් ලබාගත් සාමාන්‍ය පවුලක දරුවෙකු විය හැක. ඒ කෙසේ  වෙතත් සම්මුඛ පරීක්ෂණයේදී ඔහුගේ පෞර්ෂය සහ අදාල කාරියට කෙතරම් සුදුසුදැයි තීරණය කිරීමට පාසල් පරිපාලනයට හැකි විය යුතුව තිබුණි.

අද තිස් හැවිරිදි විය පසු කර සිටින පුතා මෑතකදී තම පන්ති මිතුරන් දෙදෙනෙකුත් සමග නිවසට පැමිණි  දිනක මේ ගැන පැහැදිලි කරගැනීමට යලිත් ඔවුන්ගෙන් විමසුවෙමි. ඔවුන් විවාහකයින් ය. එකෙක් පියෙකි. කොලු කමට කළ හපන්කමක් ලෙස නොව තමන් අතින් සිදුවූ මහා පාපකර්මයක් ගැන කතාකරන ආකාරයයි එම නෙත් තුල මා දුටුවේ.

You Might Also Like

0 comments