එම්.කේ.දයාපාල ගුරුපියාණන් .....

2/01/2017

එම්.කේ.දයාපාල ගුරුපියාණන් ...

2013 වසරට යෙදුණු මලියදෙවයේ 125 වන සංවත්සරය සැමරීම සඳහා පාසල සහ ආදී සිසුන් එකතුව ‘මලිදෙව් රිද්ම’ නමින් සංස්කෘතික ප්‍රසංගයක් අළුත ඉදිකෙරුණු ‘නෙලුම් පොකුණ’ රඟහලේදී පැවැත්වීමට සුදානම් කොට තිබුණි. අගනුවරින් බැහැර පාසලක් එහිදී ප්‍රසංගයක් පැවැත්වූ පළමු අවස්ථාවද එය විය හැක. ඒ වෙනුවෙන් සකසන සමරු කලාපය සඳහා වචන 100-200 පමණ පණිවිඩයක් ලබා දෙන මෙන් ආරාධනයක් මා වෙත ලැබුණි. පාසල හෝ ආදී ශිෂ්‍ය සංගමය සමග කිට්ටු ඇසුරක් නොමැතිව, රජයේ විශ්‍රාමිකයෙකු ලෙස නිහඬ ජිවිතයක් ගත කළ මා, ලද අනපේක්‍ෂිත ගෞරවයකි එය. ආදී මලියදෙවයින් ලෙස ආඩම්බරයෙන් සඳහන් කළ හැකි, තම තමන්ගේ ක්‍ෂේත්‍රයන්හි හිනි පෙත්තටම නැගුණු ප්‍රකට දේශපාලකයින්, වෘත්තිකයින්, විද්‍යාඥයින්, ක්‍රීඩකයින්, කලාකරුවන්, ආරක්‍ෂක අංශ ප්‍රධානින් සහ ව්‍යාපාරිකයින් ගේ කිසිම අයුරක හිඟයක් නොමැති 125 වියැති මලියදෙවයේ සමරුකලාපයකට මා වැනි විශ්‍රාමිකයෙකු වෙතින් බලාපොරොත්තුවන පණිවිඩය කුමක්ද? මදක් සොයා බැලීමේදී එම කටයුත්තේ මූලිකත්වය ගත් කණ්ඩායමේ මගේ සමකාලීනයෙකු වන ගාමිණී ද වූ බව දැන ගතිමි. ඔහු අමතා කළ දුරකථන සාකච්චාවේ දී දැනගන්නට ලැබුණේ එදිනට පාසලේ සංගීත අංශය වෙනුවෙන් මහඟු සේවයක් කළ ‘දයාපාල සර්’ ට සහ අනෙකුත් සෞන්දර්ය අංශ ගුරු තුමන්ලා වෙත උපහාර පිදීමක් ද සිදු කිරීමට අදහස් කරන බවයි.

කිහිප වරක් ආරම්භ කර, නවතා, නැවතත් ආරම්භ කර, කපා කොටා මා අතින් ලියැවුණු කෙටි පණිවුඩය මේ ආකාර විය.

         “   වැල් වැල් දික්   ඇති
මල්  මල් රුව  ඇති
රා  වං    ඇති
කෑ වොත් පන නැති
                                                                                                                 
හයේ පන්තියේ මුල්ම සංගීත පාඩම ඔබට මතකද..?   යටින් ලඝු ගුරු ඉරි ගසා ලියාගත් මාත්‍රා අටේ කවිය..?           ඒ එදා ... 1965 දී.  ශතවර්ෂ බාගයකටත් ආසන්නයි..........  දයාපාල සර් එක්ක කට ඇරලා ශබ්ධ නගලා කී වතාවක් මේ කවිය ගයන්නට ඇති ද?

ඊට පස්සේ .... සමුහ ගායනා..... සමුහ වාදන....... තුර්ය වාදක කණ්ඩායම ...... පාසලෙන් පසු පුහුණුවීම්......   සති අන්ත පුහුණුවීම්......  විවිධ උත්සව සඳහා රට වටා ගිය ගමන්...... කෙතරම් සුන්දරද....? ඒ ගමන් වලදී දයාපාල සර් අපව රැක බලාගත්තේ තමන්ගේම දරුවන් වගේ.... කිසිවෙකුටත් අඩු වැඩි වෙනස් කමක් දැනුනේ නැහැ....

ලෙස්ලි ප්‍රනාන්දු සර් ඉහළ පන්ති වල සිසුන් එක්ක වේදිකා නාට්‍යක් කළා 1967 හෝ 1968 දී. ‘හඳ අල්ලනයි එකේ ලගින්නයි’. ඒක දැකලා ආසාවක් ඇතිවුණා වේදිකාවට ගොඩවෙන්න. 1971,1973 කාලයේදී ලෙස්ලි ප්‍රනාන්දු සර්ගේම ‘චරිත තුනක්’, ‘වැනිසියේ වෙළෙන්දා’, මහදැනමුත්තෝ’, ‘කුලීගෙවල්’ නාට්‍ය වලිදී වේදිකාව අපගේම කරගත්තේ මොන තරම් සතුටකින්ද?

වෘත්තීය ජීවිතයේදී එ මගට යොමු නොවූව ද, එතුමන්ලාගේ ඇසුරින්, ගුරුහරුකම් වලින් සහ ඒ සෞන්දර්ය සහභාගිත්වය තුලින් අපේ ජිවිත වලට ලැබුණු රසිකත්වය, අත්දැකීම් සහ පන්නරය පසු කාලීනව සමාජය සමග හැසිරීමේදී කෙතරම් ප්‍රයෝජනවත් වූවා ද කියා නිම කරන්නට බැහැ.....

අදටත් ඒ වගේ ගුරු පියවරුන්ගෙන් මලියදෙවයට හිඟයක් නැති බවට හොඳ සාධකයක්  මලිදෙව් රිද්ම’ ප්‍රසංගය.....”


පුත්තලම ශාන්ත ඇන්ඩෲ විදුහලේ විදුහල්පති ලෙස පත්ව ගිය ලෙස්ලි ප්‍රනාන්දු සර්, ඒ වන විටත් දිවියෙන් සමු ගෙන සිටි බව දනිමි. අනූ වියට ආසන්න දයාපාල සර් පදිංචිව සිටියේ තම දියණියන් සමග කඩුගන්නාවේය. මගේ පදිංචිය මහනුවර නිසා ඉඳහිට එතුමා බලන්නට යාමට අවස්ථාවක් මට ලැබිණි. කොළඹ ගොස් ආපසු එනවිට වෙලා තිබුනොත් කඩුගන්නාවේ හේනාවල හංදියේදී බසයෙන් බැස එතුමා හමුවී පැමිණීම එතරම් අපහසුවක් ද නොවීය.


Staff 1967-68. Most of the teachers here are not among us today. 1. Mr.Dayapala 2. Mr. Lesley Fernando
එතෙක් කලක් නාට්‍යයක් හෝ ප්‍රසංගයක් සඳහා රු. 500/= කට වැඩි වටිනකමක ප්‍රවේශ පත්‍රයක් මිලට නොගත් මා ‘මලිදෙව් රිද්ම’ සඳහා රු.3500/= ක ප්‍රවේශ පත්‍රයක් ගත්තේ පාසල වෙත වූ බැඳීම නිසාමය. එදින වේදිකාවේදී දයාපාල සර් සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ, මුළු ශාලාවම අසුන් වලින් නැගිට එතුමාට ගෞරවය පුදකළහ. ඒ මොහොතේදී මා දෙනෙත් තෙත් වූයේ නිතැතිණි. උත්සවය අවසානයේ කලබල අවස්ථාවේ දී එතුමාට සුභ පතන්නට හෝ කතා කරන්නට උත්සාහයක් නොගත්තෙමි.

පසුව දාම දයාපාල සර් ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. “ නයනානන්ද..... අපූරු මැසේජ් එකක් දීලා තිබුණේ ‘මලිදෙව් රිද්ම’ එකට.......... ඒ එතුමාගේ ‘ස්තුතියයි’.....!

මලියදෙවයට සුභ පැතුම් එක්කළ නායකයන් ගේ පණිවිඩ, තමන්ගේ උගත්කම් සහ තනතුරු මතුකරමින් ලියැවුණු පණිවිඩ, තමන් යම් තැනකට ආවානම් ඒ ගෞරවය මලියදෙවයට හිමි විය යුතු බව සඳහන් පණිවිඩ, පාසල් සමයේ රසවත් සිදුවීම් මතකයට නැංවීම් ආදී වූ පණිවිඩ අතරේ, මා ලිවූ කෙටි සටහන අවස්ථාවට උචිත පණිවිඩයක් ලෙස මතුවී පෙනුණ බව කිහිප දෙනෙකු වෙතින්ම පසුව අසන්නට ලැබීමෙන් නිහතමානී සතුටක් ද ලද බව සඳහන් කළ යුතුය.

      වැල් වැල් දික් ඇති .......’  මාත්‍රා අටේ කවිය හයේ පන්තියේදී දයාපාල සර් සංගීත විෂයයේ සිද්ධාන්ත උගන්වද්දී අපට උගැන්වූ පළමු කවියයි. මගේ සංගීතය සටහන් පොතේ පළමු පිටුවේ ලියැවී තිබුණේ මෙයයි. පහළ පන්ති වලදී සප්තකය සහ කවි සින්දු ගායනය කළද; ලඝු, ගුරු, මාත්‍රා ආදිය උගත්තේ එතැන් සිටය. අප ඉහළ පන්ති වල සිටිද්දී ද, හයේ පන්තියේ සොයුරන්ගේ පොත්වල මෙම කව මා දැක ඇත. කවියේ නිවැරිදි අදහස මා අදත් දන්නේ නැත. එදා සිටම සිතේ තිබුණේ ‘නියඟලා’ ගැන කියන කවියක් වියයුතු බවය. මාත්‍රා අටේ කවියකට නිදසුනක් ලෙස බය නැතිව කීවේ, ලිවේ මෙයයි. මාත්‍රා 12, 16, 24  ට වෙනත් කවි උගන්වා තිබුණි.

1950 දශකයේ සිට 1980 දශකය දක්වා මලියදෙව් මව් සෙවනේ අකුරු කළ දරුවනට එම්.කේ.දයාපාල ගුරුතුමා පියෙක්ම විය. 1925 දී මෙලොව එලිය දුටු එතුමා වසර 91 ආයු  වළඳා අභාවප්‍රාප්ත වුයේ අදට මසකට පෙර එනම් 2017 ජනවාරි 3 වන දිනය. මා දන්නා  එතුමන් ගැන යමක් සඳහන් කිරීම යුතුකමකැයි සිතුනු බැවින් මෙම සටහන තබමි.

20 වන සියවස මැද දී කඩුගන්නාව ප්‍රදේශයෙන් මතුවූ සංගීත ප්‍රභෝදයේ නියමුවන් වූයේ එම්.කේ.සුගතපාල සහ එම්.කේ.දයාපාල, නම් වූ දෙසොහොයුරන් බව එදා අවමගුල් උළෙලේ කළ කතා වලින් දැනගතිමි. වික්ටර් රත්නායකයන්ගේ මුල් කාලීන ගුරුවරයා එම්.කේ. සුගතපාල මහතා බවයි මා අසා ඇත්තේ. නව පරපුරේ ප්‍රකට එමෙන්ම දක්ෂ ගායකයෙකු වන රොමේෂ්, සුගතපාල මහතා ගේ පුතණුවන්ය. මෙයට වසරකට පමණ පෙර සුගතපාල මහතා අභාවප්‍රාප්ත විය.

‘හේවුඩ්’ නමින් ප්‍රකට වූ රජයේ සංගීත විද්‍යාලයෙන් ශාස්ත්‍රය හදාරා පිටවූ සුගතපාල මහතා කඩුගන්නාව විද්‍යාලයට සහ දයාපාල මහතා මලියදේව විද්‍යාලයට අනුයුක්ත ගුරුවරුන් ලෙස 1950 මුල් කාලයේදී දිවි අරඹා ඇත. තම වගකීම එම ඝාන්ධර්ව ශාස්ත්‍රය ඊ ළඟ පරම්පරාව වෙත කිසිම අඩුවකින් තොරව ලබාදීම බව ඇදහූ ඇදුරු රත්නයන් දෙපලකි මොවුහු.

මා දයාපාල මහතා ගේ ඇසුරට යොමු වූයේ සමූහ ගායන තුලිනි. ඒ 6 ශ්‍රේණියේ දීය. ප්‍රාදේශීයව පැවතී උත්සව සඳහා ගැයූ  කුමාරතුංග ගුණ සමරු ගීය, ධර්මපාල ගුණ සමරු ගීය ආදිය අදත් මතකයේ පවතී. ධර්මපාල සමරු ගීතය ගැයුණේ කුරුණෑගල නගරයේ ඉදිකළ ධර්මපාල පිළිරුව විවෘතකළ දිනයේය. එවකට නගරාධිපති වූයේ ඩී.බී.වෙලගෙදර මහතාය. රත්පැහැ පුරපති ලෝගුවෙන් සහ  නිළ අභරණවලින් සැරසී සිටි, තරබාරු සිරුරකින් යුතුවූ එතුමා, කුඩා තරප්පු හිනි මගක් ඔස්සේ පිළිරුවට මල්මාලාවක් පළඳවන්නට ගොස් නොවැටී බේරුණේ අනුනවයෙනි. කුඩා දරුවන් ලෙස අපට මහත් විනෝදයක් ගෙනදුන් සිදුවීමකි එය.



වාදන පුහුණුවීම් වලට පැමිණි කිසිම දරුවකු දයාපාල මහතා වෙතින් හරවා යැවූණේ නැත. කුමක් හෝ වාද්‍ය භාණ්ඩයක් දී ඔහු රඳවා ගැනීම එතුමාගේ සිරිත විය. මා වෙත මුලින්ම ලැබුණේ කුඩා ලී කැබලි දෙකකින් සැදී තාල භාණ්ඩයකි. අප එතුමා සමග සම්බන්ධ වනවිට ටි.එම්.ජයරත්න, ලක්ෂ්මන් විජේසේකර, නිමල් ගුණසේකර, ටියුලින් ජයරත්න ආදී වූ එතුමාගේ අනුජාත සිසුදරුවෝ පාසල හැරගොස් සිටියහ. නමුත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම පැමිණ එතුමාට සහය වීමේ ගුණාංගය ඔවුන් තුල විය. මා පළමුව සහභාගි වූ සමුහ වාදනය වුයේ ‘ඇට්ලස් හෝල් අන්තර් පාඨශාලිය දැනුම මිනුම් තරඟයේ’ අවසන් තරඟය සමග පැවැති ප්‍රසංගයේදීයයි. කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේ පැවති එම අවස්ථාවට කොළඹ යසෝදරා සහ ගෝතමී බාලිකා විදුහල් සමග කුරුණෑගලින් ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයත් අප විදුහලත් සහභාගී විය. ජය ගත්තේ යසෝදරා විදුහලයි.



අධ්‍යාපන ඇමති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමාගේ සංකල්ප මත ඇරඹි වැඩහුරුවීමේ උත්සව වලදීද “ලෝකෙන් උතුම් රට ලංකාවයි” සහ “සැම දන මන දිනු සුජාත ධරණී” ආදී ගී ගැයීමට යාමට නිතරම අවස්ථාව ලැබුණි. අධ්‍යාපන චාරිකාවක් හෝ විනෝද ගමනක් මෙන් ගිය ඒ ගමන් ප්‍රිය ජනකය. දයාපාල ගුරුතුමා තුල මා දුටු විශේෂ ලක්ෂණයක් වූයේ ඇති හැකි දෙමාපියන්ගේ දරුවන් වෙත මෙන්ම සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවන් වෙත ද සමසේ සැලකීමය. එකල ඇති හැකි දරුවන්ගේ දෙමාපියන් ද යහපත් අය වූ බව සඳහන් කළ යුතුමය. සමහර විට ඒ ගමන් සඳහා තම වාහන වලින්ම පැමිණෙන ඔවුහු තම දරුවනට පමණක් සැලකිලි සංග්‍රහ කළේ නැත. අප සැම වෙතද ආදරය කරුණාව දැක්වූහ.

මලියදෙවයේ පළමු පෙරදිග තුර්යවාදක කණ්ඩායම ආරම්භ කළේ දයාපාල ගුරුතුමාය. එය වයඹ පළාතේ පිරිමි පාසලක පළමු පෙරදිග තුර්යවාදක කණ්ඩායම ද විය හැක. මගේ මතකයට අනුව සමස්ථ ලංකා පාසල් උත්සව වලදී අපට හමුවී ඇත්තේ කොළඹ ඉසිපතන, මහනුවර සිල්වෙස්ටර් සහ මාතලේ විජය යන විද්‍යාල වල පෙරදිග තුර්යවාදක කණ්ඩායම්ය. සමහර ප්‍රධාන පාසල් වල බටහිර තුර්යවාදක කණ්ඩායම් විය. බටහිර සහ පෙරදිග තුර්යවාදක කණ්ඩායම් දෙකම ඇති බාලිකා පාසල් ද විය. සියල්ල අතරින් විශාකා සහ අනුලා විද්‍යාල බටහිර කණ්ඩායම් කැපී පෙනුණි. (අප පාසලේ බටහිර තුර්ය වාදක කණ්ඩායම ආරම්භ කලේ වසර කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ බටහිර සංගීත අධ්‍යක්ෂවරිය ලෙස විශ්‍රාම ගත් මායා අබේවික්‍රම මහත්මියයි. තම මුල් පත්වීම මත අප විදුහලට ඇය පැමිණියේ මායා ජයසිංහ මෙනවිය ලෙසය. 2000 වසරෙදි පමණ රටපුරා පාසල් සිසුසිසුවියන් එකතු කරගෙන ඇතිකළ ජාතික ශිෂ්‍ය ‘බටහිර වාද්‍ය සහ ගායන වෘන්දය’ ඇයගේ උත්සාහයක ප්‍රතිඵලයකි.)



දයාපාල ගුරුතුමා සතියේ දින හතෙන් පහක්ම මලියදෙවය සහ අප වෙනුවෙන් කැප කළ ගුරු පියෙකි. තම දරුවන් සහ නිවසේ කටයුතු සඳහා වෙන් කළේ සති අන්තයේ  දින දෙක පමණි. සති අන්තයේ පාසලේ සංගීත කටයුත්තක් යෙදී තිබුණහොත් එයද එතුමාට අහිමි විය. අප වෙනුවෙන් එතුමා නිදහස් කර තම නිවසේ කටයුතු ඉටුකර ගැනීමේ වගකීම බාරගත් එම මැතිණියටත් දරු දෙදෙනාටත් අපගේ කෘතඥතාව හිමිවිය යුතුය. (දයාපාල මැතිණිය වසර දෙකකට පමණ පෙර මෙලොවින් සමු ගත්තාය.)

Late 1950s or early 1960s. Forth from left playing violin must be T.M.Jayaratne. One who plays Tabla is Mr. D.R.Dissanayake who was a teacher at his Alma-mater during our time. Background: the hostel and the pavilion. 
එතුමා පාසල් නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටියේය. ක්‍රීඩා පිට්ටනිය අනෙක් පස ක්‍රීඩා නැරඹුම් මණ්ඩපයට යාබදව සංගීත භාණ්ඩ අසුරා තිබූ කාමරය විය. සංගීත කාල පරිච්චේදය සඳහා අප පෝලිම් ගැසී නැරඹුම් මණ්ඩපය වෙත ගියෙමු. පාසලේ අනෙක් පන්ති වලට බාධාවක් නොවන පරිදි හඬ නගා ගී ගයන්නටත් වාද්‍ය කටයුතුවල යෙදෙන්නටත් අපට හැකිවිය. සතියේ දිනවල සැන්දෑ වන තුරුම ශිෂ්‍ය නිවාසයේ සොයුරෝ එතුමා වෙතින් වාදනය උගත්හ. ශිෂ්‍ය නිවාසයේ සිටි තරුණ ගුරුවරු එතුමා වෙතින් සංගීතය හදාරා විශාරද විභාග වලට පවා පෙනී සිටි බව අප අසා ඇත. සිකුරාදා දිනවල අවසන් කාල පරිච්චේද එතුමා නිදස්ව කර තිබූ අතර පාසල අවසාන වීමට කලින් පිටව යාමේ විශේෂ වරප්‍රසාදය ද හිමිව තිබුණි. ඒ පොල්ගහවෙලට ගොස් මහනුවර දුම්රියෙන් කඩුගන්නාවේ තම නිවසට යාම සඳහාය. දියතලාවේ ශිෂ්‍යභට පුහුණු කඳවුරට සහභාගී වීම සඳහා දුම්රියෙන් යද්දී කඩුගන්නාව දුම්රිය ස්ථානය පසුවූ වහාම අප සැම කැඳවා තම නිවස පෙන්වූ අයුරු මට අදත් සිහිවේ. පවුලේ අය අත් වනමින් සිටිණු ද දුටුවෙමි.

වයඹ පළාතේ පළමු ශිෂ්‍යභට තුර්යවාදක කණ්ඩායම පිහිටුවීම පිලිබඳ ගෞරවය ලැබෙන්නේ ද එතුමාටය. කපිතාන් ආර්.බී.දසනායක ගුරුතුමන්ගේ ද සහයෝගය ඇතිව පිහිටවූ පළමු ශිෂ්‍ය භට තුර්යවාදක කණ්ඩායමේ සාමාජිකයකු වීමේ භාග්‍යය මටද ලැබුණි. සුදු පැහැති ජාතික ඇඳුමින් සැරසී දියතලාව ශිෂ්‍ය භට බලකා පුහුණු කඳවුරේ නිළධාරීන්ගේ නිවස්නයට ගිය පළමු ගුරුවරයාද එතුමා බව දැනගන්නට ලැබුණි. හමුදා ඇඳුමින් සැරසෙන්නේනම් සංගීත අංශයට අදාල හමුදා නිළයක් ලබාදිය හැකියැයි ලැබුණු යෝජනාව එතුමා කාරුණිකව ප්‍රතිෂේප කළ බවද දනිමි.


මා සම්බන්ධ පෞද්ගලික සිදුවීමක් ද මෙහිදී සඳහන් කරමි. 1969 අධ්‍යාපන සියවස සමරු උත්සවය ආචාර පෙළපාලියට රටේ සැම පළාතකින්ම පාසල් තුර්යවාදක කණ්ඩායම් සහ සිසුන් කොළඹට කැඳවා තිබුණි.  අපට නවාතැන් සඳහා ලැබුණේ ඉසිපතන විදුහලයි. උත්සවයට කලින් දින පෙරහුරුවේදී සියළුම සිසුසිසුවියනට තම වාද්‍ය භාණ්ඩද සමග පෙළ ගැසී  දිගු වෙලාවක් එකම ස්ථානයක අව්වේ සිටීමට සිදුවිය. පෙළපාලිය පටන් ගෙන අප කණ්ඩායමට පෙරට යාමට අණ ලැබෙද්දී, මගේ දෙපතුල සිට සීතල ගතියක් කොඳුඇට පෙළ ඔස්සේ ඉහලට පැතිරෙනු පමණි මට මතක. ඒ ක්ලාන්තය පිළිබඳව මගේ පළමු අත්දැකීමයි. පසුව සගයින්ගෙන් දැනගත්තේ, ඔවුන් පළමු පියවර තබද්දීම බෙරගෙඩියත් සමග මා ඇදවැටුණු බවත් වහා පැමිණි දයාපාල සර්, කණ්ඩායම සමග යාම සහායට පැමිණි පද්මතිලක ගුරුතුමාට පවරා මා සමග නැවතුණු බවත්ය. යලි සිහි එළඹෙද්දී මා ප්‍රථමාධාර මැස්සක ඔසවාගෙන යනු ලබන බවත් නිල් අහස පසුබිම්ව හිස අද්දරින් ම සර් ගේ මුහුණ දුටු බවත් මට මතකය. (ප්‍රථමාධාර කුඩාරමට ගිලන් මැස්ස මතින් ගොස් සිටියේ මා පමණක්ම නොවේ.)


අධ්‍යාපන ඇමති ඊරියගොල්ල මහතා ද වයඹ පළාතේ නිසා අප පාසල කෙරෙහි විශේෂ සැලකිල්ලක් තිබුණා ද විය හැක. අධ්‍යාපන සියවස සමරු උත්සවය අතර නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකු සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාට උපහාර පිදීමට ගිය ගමනේදී ගී ගායනය සහ සංගීතය සැපයීමට ආරාධනා ලැබුණේ අප කණ්ඩායමටය. තිම්බිරිගස්යායේ තම දියණියකගේ නිවසක ජිවිතයේ සැන්දෑ සමය ගෙවමින් සිටි එතුමා හමුවන්නටත් එතුමාගේ පා නමදින්නටත් ලැබීම සුවිශේෂී අවස්ථාවක් මෙන්ම භාග්‍යයක් කොට ද සලකමි. කන්නන්ගර මහතා එයට මාස කිහිපයකට පසු අභාවප්‍රාප්ත වූ බවද මතකය.

දයාපාල ගුරුතුමා තම සම්පුර්ණ සේවා කාලයම මලියදෙව දරුවන් වෙත කැපකළ අතර එම කාලය තුල ගායන වාදන සහ තුර්යවාදන යන සෑම අංශයකින්ම මලියදෙවය ඉදිරියට ගෙන ඒමට සමත් විය. සෑම වසරකදීම පාහේ ජයග්‍රහණ ශුරතා ලබා ගැනීමට  සමත්විය.

දයාපාල සර් විශ්‍රාම ගත්තේ 1983 දී පමණ විය යුතුය. ඒ වන විට මා රැකියාවට ගොස් වසර 10ක් පමණ ගෙවී තිබුණි. එතුමාට සමු දීමේ උත්සවය පැවති විද්‍යාලයීය චතුරශ්‍රය එවකට සිටි සිසුන් සමග එතුමා වෙතින් “ස රි ග ම ප ධ නි ......” උගත් ආදී සිසුන් බොහෝ දෙනෙකුගෙන් ද පිරී පැවතුණි. එදින සැඳෑවේ පැවති සංගීත ප්‍රසංගය පරම්පරා කිහිපයක ආදී සිසුන් සහ එවකට සිටි සිසුන් එකතුව පැවැත්වූ මහා ගුරු පූජාවක් විය. අඹු දරුවන් සමග නිදහස් දිවියක් එතුමාට ලැබුණේ ඉන් අනතුරුවය.

ඉහත දැක්වෙන්නේ මා එතුමාගේ සමීප ඇසුර ලැබූ වසර අටක පමණ කාලය තුල මගේ අත්දැකීම් කිහිපයක් පමණි. වසර තිහකට අධික සේවා කාලය තුල ගායන වාදන කණ්ඩායම් වල කටයුතු කළ දහස් ගණන් වන සිසු කැල තම අදහස් සහ මතකයන් ලීවා නම් පොත් ගණනාවක්ම පුරවා ලන්නට කරුණු ඇතුවාට සැක නැත. ඉඳහිට අවස්ථාවක තදින් කතා කරනු හැරුණු විට කුමන වරදකට හෝ දරුවකුට දඬුවම් කරනු මා දැක නැත. තරුණ සිසුන්ගේ දඩබ්බර කම් සිනා මුසු මුහුණින් ඉවසන්නට එතුමා පුරුදුව සිටියේය. ඉහලට යොමු කොට දඬුවම් ලබා දිය හැකි තත්වයේ ලොකු වරද වලදී පවා කිසිවිටකත් සිසුන් පාවා දුන්නේ නැත. කරුණාවෙන් වරද පහදා දුන්නා පමණි. 

සංගීත පුහුණුවීම් සඳහා කැපවීමෙන් වෙහෙසෙද්දී එතුමාගෙන් අප ලද අවවාදය වුයේ තමන්ගේ මූලික අරමුණ වූ අධ්‍යාපන කටයුතු අතපසු නොකරන ලෙසත් ඒ සඳහා ප්‍රමුකතාවය දෙන ලෙසත්ය. සංගීත කටයුතු වලට සහභාගී වූ  සිසුදරුවෝ අධ්‍යාපනිකව හොඳ ප්‍රතිඵල ලබද්දී වැඩියෙන්ම සතුටු වූ අය අතර එතුමා විය. ඔවුන් අතරින් සමහරු පසු කාලීනව රටේ ඉහලම තනතුරු වලට ලඟා වූහ. එවන් අවස්ථා වලදී ඔවුහු එතුමා බැහැදැකීමට පැමිණෙන්නේ තම දෙමාපියන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට යෑම හා සමාන වූ ගෞරවයකිනි. විදෙස්හි උසස් වෘත්තීන්හි යෙදෙන අය පවා තම මව් රටට පැමිණෙන කෙටි නිවාඩුවේදී එතුමා හමුවීමට කාලයක් වෙන්කර ගත්හ.

තම විශ්‍රාම දිවිය ද ඵලදායී ලෙස සකසාගත් එතුමා ‘ගීතගානී’ නමින් කලායතනයක් අරඹා කඩුගන්නාව අවට දරුවන් වෙත ශාස්ත්‍රය බෙදාදීමට කැපවිය. මා වැඩිහිටි වියේදී යළිත් එතුමා සමග කිට්ටු ඇසුරකට යොමු වුණේ එම කලායතනයේ විවිධ ප්‍රසංගයකට ලද ආරාධනයක් සමගය. හමුවීම් වලදී අතීත සිදුවීම් ආවර්ජනය කිරීමටත් තමා හමුවීමට පැමිණි ආදි මලිදෙව් සිසුන් ගැන කතා කිරීමටත් එතුමා මහත් කැමැත්තක් දැක්විය.

1998 දී මහනුවර අවට මලියදේව ආදිසිසුන් පිහිටුවාගත් ‘කඳුරට මලිදෙව්’ එකතුවේ අනුශාසක වරයෙකු ලෙස දයාපාල සර්ව නම් කෙරුනේ නිතැතිණි.  ‘කඳුරට මලිදෙව්’ සුහද හමුවීම් සඳහා එතුමාගේ  නිවසට ගොස් ආරාධනා කළ අවස්ථා වලදී, කරදර නොවී දුරකථන ඇමතුමක් දුන්නා නම් සෑහෙන බව පැවසීමට තරම් නිහතමානී විය. තමාට හැකි සැම අවස්ථාවකදීම තම පැරණි සිසු දරුවන් සමග එකතු වීම මගින් මහත් සතුටක් ලැබීය.


2015 වසරේදී සිදුවූ තම ආදරණිය බිරිඳගේ වියෝව මානසික ව එතුමාට බලපාන්නට ඇත. පසුගිය ඔක්තෝබර් 16 වන ඉරුදින පැවති  ‘කඳුරට මලිදෙව්’ එකතුවේ සුහද හමුව සඳහා එතුමා කැඳවාගෙන ඒමට හැකියාවක් ඇතිදැයි බලන්නට ඊට ටික දිනකට පෙර මා එතුමා හමුවුණේ සී.එස්.ජයතිලක සොයුරාද සමගිනි. ශාරීරික අපහසුතා මැද වුවද හොඳ මතකයක් ඇතිව සිටි 91 හැවිරිදි දයාපාල සර්, පෙර පරිදිම අතීත තොරතුරු අප හා කතා කළේ පැහැදිලි මනසකින් යුතුවය. නමුත් වයසත් සමග වූ ශාරීරික දුබලතා වටහා ගත් අපි එතුමා එහි කැඳවාගෙන ගොස් වෙහෙස කරවන්නට අදහස් නොකළෙමු.

2017 වසර ආරම්භයත් සමග ලද ශෝක ජනක පුවත එම්. කේ. දයාපාල ගුරු පියාණන්ගේ අභාවයයි.










You Might Also Like

0 comments