Interhouse sport meets took me back to my school days ..........

2/13/2015

පසුගිය 6 වනදා, මගේ උපන් දිනය දා, අවශ්‍යතාවයක් සඳහා මට රත්මලානට යන්න සිදුවූවා.

සාමාන්‍යයෙන් මා ගමනක් බිමනක් යන්නේ කලාතුරකින්, හැකි පමණ අළුයමින් නිවසින් පිටත් වී උදෑසන 7 - 8 වන විට ගමනාන්තයට යන්න බලාගෙන. නමුත් එදින නිවසින් පිටත් වුණේ පමාවී. පෙ. ව. 10.30 ට පමණ, අංක.17 නුවර-පානදුර බසයකට ගොඩවුණේ තනි බසයෙන් ම රත්මලානට යන්න. දහවල් කාලයේ බසයකින් යනවිට බොහෝ දේ දකින්න ලැබෙනවා. ඒක වටිනා අත්දැකීමක්. මා වාඩිවී සිටියේ බසයේ වම් පැත්තේ අයිනක.

පාරට මායිම්ව ක්‍රීඩා පිටි තිබුණු පාසල් දෙක තුනකම දරුවෝ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ට සූදානම් වනු දකින්නට ලැබුනා ප.ව. 12.30 ට පමණ අත්තනගල්ලේ සංඝබෝධිය ළඟදී දුටුවා ඔවුන්ගේ ක්‍රීඩා උත්සවයේ ආරම්භය. තූර්ය වාදනය පසුබිමින් වැයෙද්දී ශිෂ්‍ය භටයින් අට දෙනෙක් පාසල් ධජය රැගෙන ගාම්භීර ලෙස කොඩිගස වෙත යන ආකාරය.

දුටුවේ තත්පර කීපයයි මට අපගේ පාසල් සමය මතක් වුණා.
යක්කල ඉන්ද්‍රජෝතියේ දරුවෝ පෙළ ගැසිලා ඉන්නවා ප්‍රධාන අමුත්තා පිළිගන්න. පිටියේ ඈත කෙළවර නිවාස කූඩාරම්, විවිධ හැඩයෙන්......
බැලුම්මහරින් හරවලා වැලිවේරිය හරිය පසුකරන විට තවත් පාසලක දරුවෝ තිදෙනෙක් ඔලිම්පික් පහන දැල්වීමට ගිනි සිළු රැගෙන පිටිය වටා සෙමෙන් දුවනවා. ඊට අමතරව සියඹලාපෙ බියගම හරියෙත් පාසල්වල ක්‍රීඩා උත්සව දුටුවා‍.

එදා පළමු පාසල් වාරය ආරම්භ වී සති හතරකට පමණ පසුව ආ සිකුරාදා. අධ්‍යාපන අමත්‍යාංශ චක්‍රලේඛනයක්‍ තියනවා මා හිතන්නේ වසරේ පළමු මාසය තුළදී නිවාසාන්තර ක්‍රීඩා තරග අවසන් කළ යුතු බවට.

 මගේ පාසල් කාලයේ සිදුවීම් එකිනෙක මතකයට ආවා. පාසල් සමයේ මා ක්‍රීඩකයෙක් වුණේ නැහැ. ක්‍රීඩා උත්සවවලදී වැඩිපුර කළේ තමන්ගේ නිවාසයේ ක්‍රීඩකයින්ට ඔල්වරසන් දෙන එක. පහළ පන්තිවල සිටිද්දී වරක් විකට ඇඳුම් තරගයට සහභාගි වුණා කාවඩි නැට්ටුවෙක් හැටියට ටොෆී පැකට් එකක් තෑගි ලැබුණා. මැද පන්තිවලදී සංගීත අංශයට සම්බන්ධ වූ නිසා පාසල් ගීතය ගයන කණ්ඩායමට ඇතුලත් වුණා. පසුව තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක් වී ආචාර පෙළපාලියට සහභාගි වුණා.

ඉහළ පන්තිවලදී ක්‍රීඩා උත්සව සමය කියන්නේ සුන්දර අත්දැකීමක්. ඒ කාලයේ ගෙදරින් වැඩිපුර නිදහස ලැබුණා. පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුනොවූ තරම්. ගුරුතුමන් ගුරුතුමියන් සමග එකට එකතු වී නිවාස කූඩාරම සෑදීම වගේ කටයුතු හරිම මිහිරියි.

මා ඉගෙනුම ලැබුවේ පිරිමි පාසලක. මිශ්‍ර පාසලක උගත් අයගේ මේ අත්දැකීම වඩාත් සුන්දර වන්න ඇති. ලී දඬු පොල්අතු සොයන්නට යාම, කණු සිටවීමට වලවල් හෑරීම, කෙසෙල් සමග බනිස් කාලා මහ රෑ වන තුරු කූඩාරම් සෑදීම හරිම සුන්දරයි…..

 ක්‍රීඩා උත්සවයකදී මා සැබෑ තරගයකට සහභාගි වුණේ පාසල් දිවියේ අවසාන වසරේදී. ඒ අවුරුද්දේ මා නිවාසයේ උපනායක. ක්‍රීඩා හැකියාවක් නිසා නොවේ. පාසල් සංගම් කටයුතු ආදියේදි සිසුන් ගුරුවරුන් අතර නමක් දිනාගෙන සිටි නිසා.

ඒ වසරේදී අප පාසල් ක්‍රීඩා උළෙලට අලුත් තරගයක් එකතු වුණා‍‍. පළමු වතාවට මහා මාර්ග බයිසිකල් ධාවන තරගයක්. සමහර අය කීවා ඒක අනතුරු දායකයි කියලා. තරගකරුවන්ට දෙමාපියන්ගෙන් විශේෂ අවසරයක් ගන්න සිදුවුණා. තරඟය පැවැත්වුණේ ක්‍රීඩා උළෙලට කලින් සතියේ සෙනසුරාදා. එක් නිවාසයකින් තරගකරුවෝ දස දෙනෙක්. ඔක්කොම 40ක්. උදෑසන 7ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ‍‍‍‍‍. අපේ නිවාසයේ එක තරගකරුවෙක් ආවේ නැහැ. නියමිත දහය සම්පූර්ණ කරන්න අවැසි නිසා යහළුවෙකුගේ බයිසිකලයක් ඉල්ලාගෙන මගේ නම ඇතුල් කළා. අතරමගදී අමාරු වුණොත් ආපදා රථයෙන් ආපසු එන බලාපොරොත්තූවෙන් තමයි මා සහභාගි වුණේ. ක්‍රීඩා භාර ගුරුතුමා අවවාද කළා මාර්ග නීති සුරැකිය යුතු බවට. ඉදිරියෙන් පොලිස් නියාමන රථයක් ද සහිතව තරගය ආරම්භ කළා. පටන් ගන්නකොට ම කිහිප දෙනෙක් පැටළිලා වැටුණා. ඒ කාලේ අද වගේ එක බයිසිකලයකට යතුරු පැදි තුනක් විතර උදව්වට ආවෙ නැහැ. බොහෝ තරගකරුවෝ මාව පසු කරලා ඉදිරියට ගියා. මාර්ගය තිබුණේ කුරුණෑගල සිට මාවතගමට ගොස් එතැනින් හැරී බරන්දනට ගොස් යළිත් මල්ලවපිටිය හරහා පාසලට පැමිණීම. බාගයක් විතර යනවිට තේරුනා ඒක එතරම් අමාරු කාරියක් නොවන බව. ටිකක් හිතට අරගෙන පෑගුවා. පාරෙ හොඳට ඉඩත් තිබුණා. මග දිගට කට්ටිය වතුරත් ගහනවා. හරිම විනෝදයි. ඉදිරියෙන් හෝ පසුපසින් තරගකරුවෝ පේන්න නැහැ. හති දාගෙන පදින කිහිප දෙනෙක්ව පසුකරන්න හැකි උනා. සමහර අයගෙ බයිසිකල කැඩිලා ආපදා රථය එනතුරු සිටිනවා. ඊට පසුව මට හැකි උපරිම වේගයෙන් තරගය අවසන් කළා.

අවසන් ඉර පසු කරද්දී ලැබුනු ඔල්වරසන් හඬ හරියට මා පළමු තැන දිනුවා වගේ......
මට ලැබී තිබුනේ 11 වන ස්ථානය. පළමු වැනියා අපේ නිවාසයෙන්‍. මට කලින් අපේ පස් දෙනෙක් තරගය අවසන් කර තිබුණා. 40 දෙනාගෙන් 26 දෙනකු පමණයි තරගය අවසන් කළේ. කණ්ඩායම් ශූරතාව ලැබු අපට. ක්‍රීඩා උළෙලේ තෑගි බෙදාදීමේදි පාපැදි තරගයේ කණ්ඩායම් ශූරතාව ලබා ගන්න නිවාස කොඩිය යටින් යන්න වුණේ ම‍‍ට‍‍‍‍‍.

කොතරම් සතුටක් ද….. ආඩම්බරයක් ද………. අහඹුවකින් තරඟයකට සහභාගි වී දිනුමක් ලැබුනහම මේ තරම් සතුටක් දැනෙනවා නම්, ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් තරඟකර පරාජය ලැබුනහම මොනතරම දුකක් වේදනාවක් දැනෙනවා ඇතිද .....?


You Might Also Like

0 comments