තක්කඩිකමක්.......

2/06/2017

චූඩාමාණික්‍යය!  (තක්කඩිකමක්..... ප්‍රවේශය  )  

රාජකාරි ජීවිතයෙන් අඩක් පමණ ම කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ සේවය කළ මා 1991 දී පේරාදෙණිය ශික්‍ෂණ රෝහලෙහි අලුතින් ආරම්භ කළ වෛද්‍ය පරීක්ෂණාගාර තාක්ෂණවේද පුහුණු පාසලේ ආචාර්යවරයෙකු ලෙස පත්වීමක් බාරගත්තේ මූලික හේතු දෙකක් නිසා ය. ඒ ගුරු වෘත්තීය වෙත මගේ වූ බලවත් කැමැත්තත්, මහනුවර පාසලක ගුරුවරියක වූ බිරිඳ සහ පාසල් ගමන ආරම්භ කළ පුතණුවන් සමග වැඩි කාලයක් ගෙවීමට තිබු අවශ්‍යතාවයත් ය. වසර කිහිපයක් කුලී නිවසක ගතකළ පසුව, පල්ලෙකැලේ ‘ගම්උදාව’ භූමියෙන් රජයේ සේවකයන් වෙත විකුණන ලද ඉඩම් කොටසක් මිලට ගැනීමට අවස්ථාව ලදිමි. රාජ්‍ය සේවකයින් සඳහා වූ පස් අවුරුදු වැටුප් ණය මුදල වැයකොට තිදෙනාට ප්‍රමාණවත් තරමේ නිවසක් ද ඉදිකොට ගතිමි.

මගේ පාසල් සමයේ වැඩි කොටසක් ගෙවුණේ කුරුණෑගල ය. වෘත්තීය ජිවිතයේ තරුණ කාලය කොළඹ ය. පවුල් ජීවිතය සහ වැඩිහිටි දිවිය මහනුවර ගතකිරීමට දෛවෝපගතව ලියැවී ඇතිවාක් මෙනි. ළමා කාලයේදී නම් වසර කිහිපයක් නගරයෙන් බැහැර ගැමි පරිසරයක දිවිගෙවීමට අවස්ථාව ලද නමුත් ඉන් පසු මට ඒ වාසනාව අහිමි විය. ප්‍රධාන නගර තුනක අත්දැකීම් ඇති මා  ‘අපි නුවර’, ‘අපි ගාල්ලේ’, ‘අපි කුරුණෑගල’ ආදී වශයෙන් වන ‘මුහුණු පොතේ’ සටන්පාඨ දකින්නේ හාස්‍යය මුසුවූ හැඟීමකිනි. එක අතකින් එහි වරදකුත් නැත. මේ එක් එක් පළාත්වල අය සමස්තයක් ලෙස ගත් විට සිතුම්-පැතුම්, ගති-ගුණ සහ හැසිරීම් රටා අතින් එකිනෙකාට වෙනස් ය.

උදැසන පුතණුවන් සමග නිවසින් පිටත් වී මහනුවර නගරයට පැමිණ ඔහු පාසලට ඇරලවා පැණිදෙනිය බසයෙන් පේරාදෙණිය රෝහලේ වූ පුහුණු පාසලට යාම මා දිනචරියාව යි. මගීන් බහුල නගර සේවා බස් මාර්ගයක් වූ මහනුවර-පැණිදෙනිය මාර්ගයේ අඩුවක් නැතිව ම බස් තිබුණි. පැණිදෙනිය බසයෙන් දිනපතා යනෙන පිරිස අතර සරසවි සිසුන්, අතර මග පාසල්වල දරුවන්, පේරාදෙණිය අවට ආයතනවල සේවය කළ අය සහ රෝහල වෙත යන රෝගී පිරිස ද විය. බසයෙන් යන ගමනින් මම මහත් ආශ්වාදයක් ලදිමි. සමහර විටෙක සහෝදර ආචාර්යවරයෙකු උදැසන බස් නැවතුමේදී හමුවන අතර සවස නුවරට පැමිණෙද්දී නම් බොහෝ විට අප එකට එන අතර, මග තොට දී දකින දෑ නිරීක්ෂණය කිරීමත් සාකච්ඡා කිරීමත් අපගේ විනෝදාංශයක් මෙන් ම හැදෑරීමක් ද විය.

ගැටඹේ බෝධිය දිනපතා පසු කෙරන සුවිශේෂ ස්ථානයකි. මා නුවර පදිංචියට පැමිණීමට පෙර ගැටඹේ බෝධිය ගැන අසා තිබුණේ ජනාධිපති J.R.ජයවර්ධන මහතා සම්බන්ධ සිදුවීමකින් පමණි. ඒ 1980 දශකයේ මුල් කාලයේදී විය යුතුය. වරක් ජනාධිපතිතුමා බුදු දහමට එරෙහිව කළ ප්‍රකාශයක් නිසා ගැටඹේ රාජෝපවනාරාමාධිපති ලබුදුවේ සිරිධම්ම හිමියන්, ජයවර්ධන මහතා එල්ලිය යුතුයැයි ප්‍රකාශ කළ බවට සඳහන් විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ රජය පසු දින ම රාජ්‍ය බලය යොදවා, රජයේ ඉඩමක් අනවසරයෙන් අල්ලාගෙන සිටින බවට චෝදනා කර, නිලධාරීන් ලවා ගැටඹේ බෝධිය වටා කටුකම්බි ගසා හාමුදුරුවරුන්ට සහ වන්දනාවට එන සැදැහැතියන්ට එහි ඇතුළුවීම වලක්වා දැමු බවත් එය පුවත්පත්වල ප්‍රධාන පුවතක් වූ බවත් මතක ය. (බලයේ සිටින රාජ්‍ය නායකයෝ එදත් අදත් කවදත් ඔහොම මය. තමන් කරන කියන කොයි දේටත් එහෙයි කියාගෙන සිටී නම් හොරකම් කළත් කම් නැත. කොල්ලකෑවත් කම් නැත. මොන වංචාව කළත් කම් නැත. ඇහැ කණ පියාගෙන ඒවාට ඉඩ දී බලා සිටී. තමන්ට විරුද්ධව යමක් කීවොත්, කිසිම හිරිකිතයක් නොමැතිව සුළු වරදක් හෝ පෙන්වා කරන්න පුළුවන් පහත් ම ආකාරයට පළිගනී. ලබුදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ ඊට ටික කලකට පසුව අපවත් වූ බව ද මතකයේ ඇත.)


ඒ මා අසා තිබුණු  ගැටඹේ බෝධිය යි. එයින් දස වසරකට පමණ පසු  මා නිතර දකින ගැටඹේ බෝධිය ඊට වඩා වෙනස් ය. පන්සල සහ බෝධිය පිහිටා ඇත්තේ ප්‍රධාන පාර දෙපස ය. කාටත් පඬුරු දැමීම පහසු වීම සඳහා දෙපස ම තාප්පවල පිංකැට කිහිපයක් බැගින් ඇත. එම ස්ථානය පසුකර දෙපසට ම යන වාහන බොහොමයක් එතැන නතර කර පඬුරු දමා බෝධියට වැඳ ආශීර්වාද ලබාගෙන යති. සැමවිට ම පාහේ සැදැහැතියෝ පැන් කල රැගෙන බෝධිය පැදකුණු කරනු පෙනේ. පහන් වැටවල් පුරා මහ දවල් වුව ද පහන් දැල්වේ. හඳුන්කූරු සුවඳින් පරිසරය ම සුගන්ධවත් වී ඇත. තැන තැන පොත් බලාගෙන බෝධි පූජා කවි කියන කිහිප දෙනෙකු හෝ නිතරම දැකිය හැක. අපල දුරුකර දෙන ලෙසට, රෝග සනීප කර දෙන ලෙසට, විභාග ජය හෝ වාහනයට ආරක්ෂාව පතා අදාල අංකයන් ද සමග වූ විවිධ  ප්‍රමාණයේ විවිධ නිමාවන්ගෙන් යුතු කොඩි බෝධිය වටා එල්ලා ඇත. බස් කොන්දොස්තරවරු වාහන තදබදය අතර ම වහා දුවගොස් පඬුරු පුදා නමස්කාර කර එති. රියදුරු මහත්වරු වාහනය නවතා ආසනයෙන් මදක් එසවී බෝධිය නමස්කාර කරති. බසයේ  මගීහු ද එක එක ප්‍රමාණයෙන් එසවී හෝ නොඑසවී තම නමස්කාරය හෝ ගෞරවය පුද කරති. එසේ නොකරන්නේ බසයේ මගීන්ගෙන් 20% හෝ 30% ක් තරම් වූ සුළු පිරිසක් විය යුතුය. බසයට නගිද්දී සමහර විට රෝගීන් හෝ වැඩිහිටියන් පවා අභිබවා ගොස් අසුනක් ලබා ගන්නා සරසවි සිසුන් පවා මෙහිදී බොහෝ බැති සිතින් අසුනින් නැගිට වන්දනා කරති. සුවිශේෂී දිනවල විශේෂ බෝධි පුජා මෙන් ම ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සහ අ.පො.ස. විභාග වෙනුවෙන් විශේෂ බෝධි පුජා පැවැත්වේ. ඒ අපේ සංස්කෘතිය යි. හැදියාව යි.

උපතින් බොදුනුවකු වීම පිළිබඳව මම සතුටට පත් වෙමි. දෙමාපිය, ගුරු, වැඩිහිටි අය අනුව යමින් ඒ ඒ අවස්ථාවලදී නියමිත, අවශ්‍ය, සුදුසු, වත්පිළිවෙත්වල යෙදුනෙමි. නමුත් මෙලොවදී හෝ පරලොවදී යමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් හෝ අන් අය වරදවා සිතයි යන අදහසින් හෝ ආගම දහම සමග ගනුදෙනුවක් මා තුළ නොවීය. එබැවින් මෙහිදී මා අයත් වුයේ ඉහත සඳහන් සුළුතර මගීන්ගේ කණ්ඩායමට ය. විශේෂයෙන්, ආගමික සංකේත නිතර ඇස නොගැටුණ කුරුණෑගල සහ යාන්ත්‍රික ජීවිතයකට හුරු ජනයා සිටි කොළඹ දිවි ගෙවූ මට මහනුවර සමාජයේ මෙවැනි හැසිරීම්වලට හුරු වීමට අපහසු විය. නමුත් නිරතුරුවම දළදා මැදුර ඇස ගැටෙන, දළදා මැදුරේ තේවා හඬ කන වැටෙන, මල්වතු අස්ගිරි මහසඟරුවනේ ආශීර්වාද අනුශාසන මත දිවි ගෙවූ ජනතාවක් තුළ ආගම දහම පිළිබඳව වඩා ලැදියාවක් පෙන්වන හැසිරීම් රටාවක් ඇති වීම අරුමයක් ම නොවන බව ද මම තේරුම් ගතිමි. මේ පිළිබඳව හොඳම නිදසුන වන්නේ තම ළමා කාලයත්, පාසල් සමයත් මුළුමනින් ම මහනුවර නගරය අවට ගතකළ, අද තම දිවියේ තෙවන දශකය ද පසුකොට සිටින මා පුතණුවන් ය. විවාහකයෙකු වන ඔහු අගනුවර රැකියාවක යෙදී සිටී. ආගමිකව, අසීමිත භක්තියක් ඔහු තුල නොමැත. එහෙත් තම වාහනයේ රියදුරු අසුනේ යද්දී පවා මහනුවර වැව රවුම හරහා දළදා මැදුර ඈත දකිද්දී නිතැතින් ම වැඳ නමස්කාර කිරීම ඔහුගේ  සිරිතයි. යාබද අසුනේ සිටින මා, මට හුරුවී ඇති ආකාරයට සිතින් ගෞරවය පුද කර නිහඬ වෙමි. ඒ ගැන ගැටුමක් හෝ අදහස් දැක්වීමක් අප අතර නොමැත. ළමා කාලයේ පාසල් යන එන අතර පවා දළදා මැදුර පසු කරද්දී නැවතී, තම හිස් වැසුම ගලවා වැඳ නමස්කාර කිරීමට ඔහු හුරුව සිටියේ ය. ඒ ඔහු පරිසරයෙන් උගත් දේය. එය අනවශ්‍යයයි කීමට මම එකල ද උත්සාහ නොකළෙමි.

විවේක දිනක අළුයම අවදිවන මා බිරින්දෑ;
“කාලෙකින් මාලිගාවට කිරි අහර ටිකක් පූජා කරන්න බැරි වුණා. අද මාලිගාවට යමුද?” යි හදිසියේ ම අසයි. මගේ සාමාන්‍ය පිළිතුර වනුයේ “දැන් වෙලා ඇතිද?” යන්නයි. “පුළුවනි. මම ඉක්මනට ලෑස්ති කර ගන්නම්. ඔය මල් ටිකක් කඩා ගන්නකො.” හනික මුහුණ දොවා ගන්නා මම ඇගේ අණ පිළිපදිමි. ඉතා භක්තියෙන් කිරි අහර පිස ගන්නා ඇය එය පිරිසිදු වීදුරු දීසියකට බෙදාගෙන සුදු පිරුවටයකින් වසා ගමනට සුදානම් වේ. අඳුරේ ම අඩිය ඉක්මන් කර මාලිගාව වෙත යන අපි ඒ වන විටත් එතැන ඇති පෝලිමේ අගට එක් වමු. දිගු වේලාවක් ගෙවුණු පසුව එය ඉදිරියට ඇදේ. බුද්ධාලම්බන භක්තියෙන් ඔද වැඩුණු සැදැහැවත්තු එකිනෙකා තල්ලු කරමින් හෝ තම වාරය ඉක්මනින් ලබාගැනීමට උත්සාහ දැරීම ගැන උරණ විය හැකිද? අප දළදා කුටියට ආසන්න වෙද්දී තවත් සිදුවීමකට මුහුණ දීමට සිදුවේ. රාජකාරියේ යෙදෙන පොලිස් නිළදරුවන් හෝ දළදා රාජකාරි බාර තේවාකරුවන් හෝ තම හිතවතුන් හා ඥාතීන් පෝලිමට එක් කරන අවස්ථාවයි ඒ. මෙතෙක් වෙලා අපහසුවෙන් පෝලිමේ පැමිණි අයෙකු හෝ දෙදෙනෙක් එම අසාධාරණය ගැන තම අදහස් දක්වමින් සිත අපිරිසිදු කර ගත්තත් වැඩි දෙනෙකු ඒ දේ උපේක්ෂාවෙන් බාර ගනී. එදා ජේතවනරාමයේදී ද මේ දේ මෙලෙසින් ම සිදුවන්නට ඇති බව මා සිත කියයි.

මෙම කතාවට අදාල සිදුවීම වූයේ කවදා දැයි නිවැරදි මතකයක් නොමැත. 2000 වසරට ආසන්න වසරකදී විය යුතුය. දිනක් මා සේවයට පැමිණෙද්දී ගැටඹේ බෝධිය අසල වෙනදාට නොමැති  විශාල පිරිසක් රැස්වී සිටි අතර යම් කලබල ස්වභාවයක් ද එහි විය. ස්වාමින් වහන්සේලා මෙන් ම පොලිස් නිලධාරී මහත්වරුද ගැවසෙන බව දිටිමි. සාමාන්‍යයෙන් සිදුවන පරිදි බෝධියට ගෞරව දැක්වීමට නැගිටින අයත් අනෙක් අයත් සියලු දෙන නැගිට බෙලි දික් කරමින් ජනෙල්වලින් හිස පිටතට දමමින් පිටත සිටින අයගෙන් විස්තර දැනගැනීමට උත්සුක වූහ. එතන පසු වූ අනතුරුව වාඩි වූ එක් එක් අය තමා දැනගත් තොරතුරු අනෙක් අය වෙත බෙදා හැරීම ආරම්භ කළහ.

“පන්සලට හොරු පැනලලු”
“චෛත්‍යය බිඳලා නිධන් වස්තු අරගෙන”
“පිං කැට කඩලාලු”
“ඇයි සිකුරිටි ඉඳලා නැතිද?”
“පැය 24 ම ඔතන වන්දනා කාරයෝ ඉන්නවනේ”
“හොස්පිටල් එකේ පාන්දර ක්ලිනික් නොම්මර ගන්න එන අය රෑ තිස්සේ ඉන්නේ පන්සලේ නේ”

ආදී වශයෙන් වූ තම තමන් දැනගත් දේ සහ ඒ පිලිබඳ තම මත ඉදිරිපත් කරමින් ඔවුහු සතුටු වූහ. එදින අර භක්තිමත් ගෞරවණීය වන්දනාවට වඩා ප්‍රවෘත්ති බෙදා හැරීමට කාගේත් අවධානය යොමු විය.

නිවැරදි තොරතුරු දැනගත්තේ සේවාස්ථානයට ගිය පසු ය. ඒ රැගෙන ආවේ පන්සලේ දායක සභාවේ ද සාමාජිකයෙකු වූ අප සේවක මහතෙකි. සිදු වි ඇත්තේ බෝධි මළුවේ ඉදිකොට තිබු චෛත්‍යයේ චූඩාමාණික්‍යය අතුරුදහන් වි තිබීම යි. එය නොමැති බව දැක ඇත්තේ උදැසන බෝ මලුව ඇමදීමට ගිය සාමනේර හිමි නමකි. මා පේරාදෙණියේ සේවයට එනවිට බෝධිය අවට විශාල කොන්ක්‍රීට් බෝමලුව නොවිය. නමුත් කුඩා චෛත්‍ය රාජයාණන් එහි විය. සැමගේ වැඩි අවධානය යොමු වන්නේ බෝධිය සහ දේවාලයට මිස චෛත්‍යයට නොවේ. බොහෝ විට චෛත්‍යයේ කොත් කැරැල්ල බෝ පත් අතර වැසි තිබෙනු ද දැකිය හැකි විය. අතුරුදහන් වීම හෝ සොරකම සිදුවී ඇත්තේ පෙරදින රාත්‍රියේ ද, නැති නම් කලින් දිනකදී ද යන්නත් පැහැදිලිව කීමට අපහසු බව ද එම කතාවේදී මතුවුණි.

එම සතියේ සෙනසුරාදා දින සේවයට යද්දී දුටුවේ වෙනත් දසුනකි. සුදු වතින් සැරසුණු දායක මහත්ම මහත්මීන් පාර දෙපස සන්සුන්ව පේලියට සිටගෙන යම් යම් වැකි ලිවූ  බෝඩ් ප්‍රදර්ශනය කරමින් සිටින අයුරුයි ඒ.

චූඩාමාණික්‍යය පැහැර ගැනීම පිළිබඳව අපේ විරෝධය
සාංඝික දේ සොරකම් කිරීම මහා පාප කර්මයකි
චූඩාමාණික්‍යය ආපසු ලබා දෙන්න
කිසිදා නොගෙවෙන අකුසලයකි
සතර අපා දුක හිමි වේ

ආදී වූ වැකි ඒවායේ වූ බව මතකයේ ඇත. රූපවාහිනී හෝ පුවත් පත් මාධ්‍යවේදීන් සිදුවීම රූ ගත කරන ආකාරය ද දකින්නට හැකි විය. එය “විරෝධතාවයක්”, “සහයෝගිතා දැක්මක්”, “උද්ඝෝෂණයක්”, “සත්‍යග්‍රහයක්”, “අධිෂ්ඨාන පූජාවක්” යන මේවායින් කුමන අංගයකට අයත් දැයි, මා සමග සිටි සහෝදර ආචාර්යවරයා ද සමග සාකච්ඡා කරන අතර මෙය සැබවින් ම චූඩාමාණික්‍යය විකුණා මුදල් ලබා ගැනීම සඳහා කළ සොරකමක් ද? නැතිනම් පන්සල සමග හෝ නායක හිමියන් සමග යම් විරසකයක් ඇතිකර ගත් මෝඩ මිනිසෙකු, රිදවිමකට හෝ පලි ගැනීමකට කළ දෙයක් ද? වෙනත් ආකාරයක සිදුවීමක් විය හැකි ද?; ආදී දේ ගැන ද කතා කළෙමු.

“සමහර විට ‘යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ල’ කීප දෙනෙක් මහා රෑ හරි පාන්දර හරි මෙතැනින් යද්දී කවුරුවත් නැති වෙලාවක විනෝදෙට වගේ කළ වැඩක් වෙන්න බැරිද?” ඒ අදහස මා වෙතිනි. එම චෛත්‍යය කුඩා එකකි. ඒ මතට නැගීම එතරම් අපහසු කාරියක් ද  නොවීය.

“පිස්සුද? මේ උදේ හවස මෙතැනින් යද්දී වැඳලා යන කොල්ලෝ එහෙම කරයිද? මොනව නැතත් මේ ළමයි ගේ ආගම දහමට ගෞරවයක්, බයක් තියෙනවා.”

“එහෙම නෙවෙයි, අපි මෙහෙම හිතමු; පාටියක් ඉවර වෙලා පොඩි අඩියක් එහෙම ගහල කීප දෙනෙක් තම තමන්ගේ හපන්කම් කියමින් එන ගමන් එකෙක් අභියෝගයක් කරනවා.
-‘අඩෝ, උඹට පුළුවන් ද මේකට නැගල අර චූඩාමාණික්‍යය ගලවල ගේන්න?
- මොකද ඩෝ බැරි, හිටපන් ගෙනත් දෙන්න’ කියල අභියෝගය බාර ගත්ත කෙනා චෛත්‍යයට නගිනවා.
-‘වරෙන් බං වරෙං.  මම විහිළුවක් කළේ. එපා බං කවුරු හරි දකීවි. පාරේ වාහනයක් වත් ඒවි’ කියල අනෙක් අය කීවට අභියෝගය බාර ගත් කෙනා ඒක නවතාවිද?
-‘උඹ ගෙනෙන්ඩනේ කීවේ. ඔන්න මං ගෙනත් දුන්න’ කියල චුඩා මාණික්‍යය අතට ගෙනත් දුන්නොත් මොකද වෙන්නේ?”

මේ අදහස පිළිගන්නද? නොගන්නද? කියල වගේ මගේ සගයා දෙනෙත් අයා මා දෙස බැලීය.  

“ඔයාටත් හරියට ‘ෂර්ලොක් හොල්ම්ස්’ ට වගේනේ ඔළුවට විසඳුම් එන්නේ.” මැදි වියේ මිතුරු සගයන් වුවද අපි ‘උඹ’ කියා එකිනෙකා ඇමතීමට හුරුව නොසිටියෙමු.

නැහැ මම එහෙම කීවේ විහිළුවකට ම නොවෙයි. මේ වගේ ම සිදුවීමකට මටත් සම්බන්ධ වෙන්න සිදු වුණ නිසා, අවුරුදු තිහකට විතර කලින්.

එසේ කී මම පූර්වාපර සන්ධි ගලපා ඒ අතීත සිදුවීම මෙසේ ගෙනහැර දැක්වීමි ෴

                                                           අතීත කතාව              තක්කඩිකමක්..II


You Might Also Like

0 comments