"Zig-Zag Zebra Crossings"

7/25/2015

හපන්කම්, මෝඩකම්, තක්කඩිකම් සහ පුරසාරම්


මෝඩකමක් ........

මහදැනමුත්තෝ

"Zig-Zag-Zebra Crossings"
 දැකලා තියෙනවද "සිග්-සැග් පදික මාරු" ? 



අහම්බෙන් මේ ඡායාරූප දෙක හමුවුණා. ටිකක් දුර්ලබ පින්තූර නිසා ඉදිරිපත්කරන්න හිතුනා. මට හරියටම වර්ෂය මතක නැහැ 2005-2008  පමණ කාලයේ වෙන්න ඕනැ. මේ නුවර-පේරාදෙණිය පාර; මා මේ සිද්ධිය ඒ දිනවල දුටු මගියෙක්. මේ පදික මාරු අපේ සිනහවට ලක් වූ දේ.ඡායාරූප ගත්තෙත් විශේෂ දෙයක් වූ නිසාමයි. නුවර සිට පේරාදෙණියට යන බසයක වම් පැත්තේ ඉස්සරහම සීට් එකේ සිට ගත් ඡායාරූප. 

අසන්නට ලැබුණු තොරතුරු අනුව කතාව මෙහෙමයි. 

මහනුවර පේරාදෙණිය පාරේ පාසල් 8-10 ක් විතර තියනවා. ජනප්‍රිය ඇඟළුම් වෙළඳ සැල්, වෛද්‍ය චැනල් සෙන්ටර් එහෙමත් තියනවා. සමහර 'වැදගත් පුද්ගලයින්' ගේ නිවාස වලට යන්න තිබෙන්නෙත් මේ හරහා. ඒ දිනවල උදයට සහ හවසට මගී බස්, පාසල් දරුවන් රැගෙන යන වාහන නිසා පුදුම තද බදයක් තිබුණේ. ඒ කිලෝ මීටර 4-5 යා ගන්න සෑහෙන කාලයක් ගතවුණා. පොලීසියේ මහත්වරුත් ලොකු දුකක් වින්දා. අවසානයේදී අදාල බලධාරීන් සාකච්ඡා කරලා රථ වාහන සැලැස්මක් සකස් කළා. පේරාදෙණිය පාර සහ ඊට සමාන්තරව තිබෙණ විලියම් ගොපල්ලව පාර යොදාගෙන එක අතකට පමණක් වාහන යවන්න. මේ ගැන කලින් දැනුවත් කරළා, අත්හදා බැලීම් එහෙම කරළා ඔන්න අපූරුවට ඒ වැඩේ පටන් ගත්තා කියමුකෝ. තිබුණු ගැටළුව විසඳුණා. මාර්ග තදබදය අඩුවුණා. කාලය ඉතිරි වුණා. 

හැබැයි ඒ කොටසේ අයට වාහන වලින් වටයක් යන්න සිදුවුණා.  පොදු ප්‍රවාහන සේවා භාවිතා කළ අයටත් උදයට හෝ සවසට එක පාරක සිට අනෙක් පාරට  යන්න මීටර් 50-100 පමණ ඇවිදින්න සිදුවුණා. 

ටික දිනකින් උසාවියේ නඩුවක් ගොණුවුණා. එක් දිශාවකට පමණක් ධාවනය වීමේදී වාහන වේගයෙන් යන නිසා, මේ ක්‍රමය පාසල් සිසුන්ට අනතුරු දායකයි කියලා.  සැබෑ කතාව නම් ඒ කොටසේ තිබුණු වෙළඳ ව්‍යාපාරවල ආදායම ට මෙම වැඩ පිළිවෙල නිසා ලොකු පාඩුවක් වූවාලු. 'වැදගත් පුද්ගලයින්' ට වටයක් යාම අපහසුවක් වූවාලු.

විනිසුරු තුමාටත් බරපතල ප්‍රශ්නයක්.  එතුමාත් ඇඟ බේරාගෙන, මේ ගැටළුවට නිවැරදි විසඳුමක් යෝජනා කරන්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයට යොමු කළාලු. ඊට පසුව සතියක් හමාරක් අප දුටුවා විශ්ව විද්‍යාලයයේ  සිසු සිසුවියෝ පාරේ වාහන ගණන් කරමින්, දිග පළල මනිමින් සටහන් තබා ගන්නවා. 

ටික කාලයකට පසුව දුටුවා පාරේ දිගට හරහට සුදු කහ ඉරි අඳිනවා. මේ තමයි අර සරසවි ඇදුරු තුමන්ලා,  එකතු කර ගත් දත්ත පදනම් කරගෙන, තම උගත් දැණුම යොදාගෙන ගැටළුවට ලබා දුන් තර්කානුකූල, න්‍යායාත්මක විසඳුම.......  ඒ අනුව ලද උසාවි නියෝගය.........



පාර තුනට බෙදලා සිග්-සෑග් පදික මරු යොදා තැනින් තැන ලේන් මාරු කරන්න ඊ තල යොදා තිබුණත්, මේකෙ යන්න ඕනෑ ක්‍රමය කාටවත් තේරුම් ගන්න බැරිවුණා. සමහර විට සෙමෙන් යන වාහන දෙපස මන්තීරු වල යාමට සලස්වා වේගයෙන් නොනවත්වා යන වාහන මැද තීරුවේ යැවීමට විය හැකියි. ඒත් මැද තීරුවේ දෙපසටම වාහන යන්නේ කෙසේදැයි සිතන්න අමතක වෙන්න ඇති.
අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ තිබුණට වඩා ලොකු අවුළක් වුණා.  වාසනාවකට සිග්-සෑග් යන්න ගිහින් අනතුරකට පත්වූ පදිකයින් හෝ පාසල් සිසුන් ගැන නම් අසන්න ලැබුණේ නැහැ. 

ටික දිනක් උත්සාහ කරලා, මෙහි අසාර්ථක බව පිළි අරගෙන යලිත් පරණ ක්‍රමයටම  පාර දෙකේම දිශා දෙකටම යන්න සිදු වුණා.

සමහර ගැටළු වලට පොතේ ඇඳලා න්‍යායාත්මකව ඒ ඒ ක්ෂේත්‍ර වල උගතුන් දෙන විසඳුම් ප්‍රායෝගිකව යොදා ගන්න යන විටයි යථාර්තය තේරෙන්නේ.... 

පුංචි සන්ධියේ අහපු මහදැනමුත්තා ගේ කතා මතක්වෙනවා නේද? වාසනාවට එළුවා මරන්න කලින් මුට්ටිය බිඳලා  වැඩේ ගොඩ දා ගත්තා. 

නඩුකාර උන්නාන්සේ උනත් ආචාර්ය මහාචාර්ය තුමන්ලාගේ විසඳුම ප්‍රායෝගිකද කියල සොයා බලන්නේ නැතුවම තීන්දුව දීලා ... 

අපරාදෙ මහජන මුදල් කියලා නොකියන්නේ අපේ රටේ ඉහළ තැන්වල වැජඹෙණ, වැජඹුණු ලොක්කෝ මහජන මුදල් වලින් කරලා තියෙන මරි වැඩ වලින් මේක බොහොම සුළු එකක් නිසා ......



You Might Also Like

0 comments